දෙවැනි එක්දින තරගය අදයි | දිනමිණ

දෙවැනි එක්දින තරගය අදයි

2023 ලෝක කුසලානයට ඍජු සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා පිලේ බලාපොරොත්තුවයි

පැතුම් නිශ්ශංක

ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ පළමු කණ්ඩායම් අට අතරට එක්වෙමින් වසර 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අරමුණ බව පැතුම් නිශ්ශංක කියයි. සංචාරක සිම්බාබ්වේ පිලට එරෙහිව පෙරේදා පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති දිවා රාත්‍රී පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 5ක ජයක් වාර්තා කිරීමෙන් පසු පැවැති මාධ්‍ය හමුවට එක් වෙමින් පැතුම් එසේ ප්‍රකාශ කළේය. එක්දින ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබන රටවල් 8 තෝරා ගැනීම සඳහා අයිසීසීය මගින් පවත්වනු ලබන සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා - සිම්බාබ්වේ එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ජයගත් ශ්‍රී ලංකා පිල මේ වනවිට එම ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ පස්වැනි ස්ථානයේ පසුවෙයි.

පිතිකරුවන්ට වාසිදායක මේ තණතීරුවේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ඕවර 50 අවසානයේ කඩුලු 9කට රැස් කළ ලකුණු 296 හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කින් තරගය ජයගත්තේ ඕවර 48කුත්, පන්දු 3ක් ඇතුළතදීය. ඒ අනුව තරග 3කින් සමන්විත දෙපිල අතර එක්දින තරගාවලිය 1-0කින් පෙරමුණ ගත් ශ්‍රී ලංකා පිල අද (18) පල්ලෙකැලේ පිටියේදිම දෙවැනි තරගයට එක් වෙයි.

සිම්බාබ්වේ ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ටකුස්වනාෂි කයිටානෝ සහ රෙජීස් චකබ්වා පළමු කඩුල්ලට ලකුණු 80ක් එක් කළ අතර, මැදපෙළ පිතිකරු ෂෝන් විලියම්ස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් සිය පස්වැනි එක්දින ශතකය රැස් කිරීමට සමත් වූයේ ලකුණු 100ක් ලබා ගනිමිනි.

ලකුණු 297ක ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලට කදිම අඩිතාලමක් දැමූ පැතුම් නිශ්ශංක සිය එක්දින තරග දිවියේ මංගල අර්ධ ශතකය රැස් කිරීමට සමත් වූයේ පන්දු 71කදී ලකුණු 75ක් රැස් කරමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 10කින් වර්ණවත් විය. කුසල් මෙන්ඩිස (ලකුණු 26) සහ කමිඳු මෙන්ඩිස් (ලකුණු 17) දැවීයෑමෙන් පසු පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ගෙන් පැතුම්ට අනගි සහයක් ලැබුණු අතර, මේ දෙදෙනා එක්ව ශ්‍රී ලංකා කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 147 දක්වා ඉහළ දැමුවේ තුන්වැනි කඩුල්ලට ලකුණු 66ක සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි.

‘අන්තර්ජාතික පිතිකරු ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත් වෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මේ ඉනිමේදී මට කිසිම පීඩනයක් දැනුණේ නෑ. ලොකු විශ්වාසයකින් ක්‍රීඩා කළා.‘ පැතුම් නිශ්ශංක එසේ කීවේය.

පැතුම්ගේ දැවීයෑමෙන් පසු චන්දිමාල් සමඟ එක් වූ චරිත් අසලංක ද සිය සුපුරුදු දස්කම් අතරට පැමිණීමට සමත් වූ අතර, වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 68කදී ලකුණු 71ක් රැස් කළේ හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමගිනි. චරිත් සහ චන්දිමාල් අතර සිවුවැනි කඩුල්ලේ ලකුණු 129ක සම්බන්ධතා බිඳ වැටුණේ මුළු ලකුණු සංඛ්‍යාව 276දී චන්දිමාල්ගේ දැවීයෑමත් සමඟිනි. පන්දු 91ක් වැය වූ ඔහුගේ ලකුණු 75 ඉනිමට හතරේ පහර 4ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න