නව අන්තර් පළාත් පාපන්දු තරගාවලිය ක්‍රීඩාවේ අලුත් සංස්කෘතියක ආරම්භයක් | දිනමිණ

නව අන්තර් පළාත් පාපන්දු තරගාවලිය ක්‍රීඩාවේ අලුත් සංස්කෘතියක ආරම්භයක්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධාන කරන නව අන්තර් පළාත් පාපන්දු තරගාවලිය මෙරට ක්‍රීඩාවේ අලුත් සංස්කෘතියක ආරම්භයක් බව එම සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පවසයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව පරිපාලනයේ ‘ගමට පාපන්දුව හා පාපන්දුව නැවැත පණ ගන්වමු‘ යන තේමා ඔස්සේ අන්තර් පළාත් පාපන්දු තරගාවලිය සාර්ථක කරගත හැකි වෙතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.

සියලු පළාත් නියෝජනය වන පරිදි පළාත් කණ්ඩායම් 8ක් මෙම තරගාවලියට සූදානම් කොට ඇති අතර, සෑම පළාතකම තරග පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය කටයුතු යොදා තිබේ. මේ හේතුවෙන් වසර 20කින් පමණ ප්‍රධානතම පාපන්දු තරගාවලියක් පවත්වා නැති නැගෙනහිර පළාතේ පාපන්දු ලෝලීන්ට තරග නැරැඹීමේ හැකියාව ලැබෙන අතර, වසර ගණනාවකින් පාපන්දු තරග පවත්වා නැති උතුර, මධ්‍යම හා දකුණ පළාත්වල ජනතාවට ද සෘජුවම ක්‍රීඩාව සමග සම්බන්ධ වීමේ හැකියාව උදා වේ.

මේ වන විට ජාතික පාපන්දු සංචිතය විසුරුවා ජාතික පිලේ ක්‍රීඩකයන් සියලු දෙනා තමන් උපන් පළාත වෙනුවෙන් ක්‍රීඩා කිරීම අනිවාර්ය කර ඇති හෙයින් ඔවුන් සමග නැගී එන දක්ෂ ක්‍රීඩකයන් තරග කරන අයුරු දැක බලා ගැනීමේ අවස්ථාවද ඒ ඒ පළාත්වල ක්‍රීඩා ලෝලීන්ට හිමි වේ. මෙතෙක් පැවැති ප්‍රධානතම පාපන්දු තරග රීඩ් මාවත තුරග තරග පිටියේදී, කොළඹ සුගතදාස පිටියේදී හෝ තෝරාගත් නගර කිහිපයක පැවැතියද ඒවා ගමේ සිටින පාපන්දු ලෝලීන්ට දැක ගැනීමේ අවස්ථා ඉතා විරල විය. සෑම පළාත් කණ්ඩායමකටම වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයකු හා අවුරුදු 23න් පහළ ක්‍රීඩකයන් තිදෙනකු ක්‍රීඩා කිරීම අනිවාර්ය කොට ඇති හෙයින් නව ඉදිරි පෙළක් ග්‍රාමීය මට්ටමෙන් නිර්මාණයකර ගැනීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට හැකියාව උදා වී තිබේ.

“ගමට පාපන්දුව ගෙන ගියේ නැති බවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට චෝදනාවක් තියෙනවා. අනෙක් චෝදනාව තමයි ජාතික පිලට ක්‍රීඩා කරන වැඩි පිරිසක් බස්නාහිර පළාත නියෝජනය කරනවා කියන කතාව. මේ අන්තර් පළාත් පාපන්දු තරගාවලියෙන් පසුව මේ සියලු චෝදනා නැති වෙනවා. පළාත් පාපන්දු තරගාවලියට පසුගිය දිනවල කණ්ඩායම් තෝරා ගැනීම් සිදු වුණා. පහසුකම් අඩු ඈත ගම්වල ක්‍රීඩකයන් තේරීම් තරගවලට විශාල උනන්දුවකින් පැමිණ තිබෙනවා. ඒ නිසා දැන් පාපන්දුව ගමට යෑම ආරම්භ වී තිබෙනවා. කාලයක් තිස්සේ ඉටු නොවූ අපේ ඉලක්කයට දැන් ගමන ආරම්භ වී ඇති අයුරු දැකීම සතුටක්. ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා මේ තරගාවලිය පිළිබඳ විශාල උනන්දුවකින් සිටීම අපට විශාල ශක්තියක් බව මතක් කළ යුතුයි” ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පැවැසීය.

“කොරෝනා වසංගතය නිසා රට පුරාම ජනතාව විශාල පීඩනයකින් සිටියා. තවමත් ඒ මානසික බිඳ වැටීම ජනතාව තුළ තිබෙනවා. ක්‍රීඩාව ජාති, කුල, ආගම් හෝ වෙනත් කිසිදු භේදයකින් තොරව ජනතාවට සමීප කළ හැකි දෙයක්. ඒ නිසා මේ පළාත් තරගාවලිය රට පුරා පවත්වා ක්‍රීඩාවේ ආශ්වාදය ජනතාව වෙතට ළං කරන්න හැකියාව ලැබෙනවා. සම්මේලනයක් ලෙස අපේ තවත් එක් වගකීමක් පාපන්දු ක්‍රීඩාවෙන් හැකි උපරිම ආශ්වාදය ජනතාවට සමීප කරදීම. නව අන්තර් පළාත් පාපන්දු තරගාවලිය ගම හා නගරය හරහා මුලු රටේම පිබිදීමක් ඇති වෙන බව විශ්වාසයි” උමර් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

නව අන්තර් පළාත් පාපන්දු තරගාවලිය මේ මස 25දා කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන අතර, ලබන මස 28දා දකුණු පළාතේ ගාල්ලෙන් නිමා කිරීමට කටයුතු යොදා ඇත. මේ තරගාවලියේදී හඳුනා ගන්නා දක්ෂයන් අතුරින් මාර්තු 1දා සිට ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න