දැනුම් දුන්නත් විදුලිබල මණ්ඩලය මුදල් දුන්නේ නෑ | දිනමිණ

දැනුම් දුන්නත් විදුලිබල මණ්ඩලය මුදල් දුන්නේ නෑ

ඇමැති ගම්මන්පිල

ඉන්ධන අවශ්‍ය නම් මෙතෙක් ලබා දුන් ඉන්ධන වෙනුවෙන් විදුලිබල මණ්ඩලයෙන් හා ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් ගෙවිය යුතු ණය මුදල් ගෙවන ලෙස ආයතන දෙකටම කල් තියා දැනුම් දුන්නත් ඩොලර් ලබා දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම පමණක් බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා දිනමිණ ඊයේ (17) කළ විමසීමකදී පැවසීය.

ඉන්ධන වෙනුවෙන් විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි 920ක මුදලක් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් රුපියල් කෝටි 650ක මුදලක් ණය වශයෙන් ලැබිය යුතුව ඇති බව පැවසූ ඇමතිවරයා විදුලි බල මණ්ඩලය ඩොලර් දෙන්නේ නම් පමණක් ඉන්ධන ගෙනැවිත් දිය හැකි බව අවධාරණය කළේය.

ඩීසල් සහ දැවිතෙල් අවශ්‍ය ප්‍රමාණය කල් තියා දැනුම් දෙන ලෙස විදුලිබල මණ්ඩලයට දැනුම් දී තිබියදී 13 වැනිදා සිට ඩීසල් අවශ්‍ය බව පසුගිය 11 වැනිදා විදුලි බල මණ්ඩලය දැනුම් දුන් බවද පැවසීය. තෙල් සංස්ථාව බරපතළ ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේ එවැනි හදිසි ඉල්ලීමක් සපුරාලිය නොහැකි බව ගම්මන්පිල මහතා වැඩි දුරටත් පැවසීය. ඉන්ධන නොමැතිවීම නිසා නතර වූ විදුලිබල මණ්ඩලයේ බලාගාර කිහිපයක් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් තුන් දහසක් අවස්ථා දෙකකදී ලබා දුන්නත් ඩොලර් නොමැතිව මින් ඉදිරියට ඒ ආකාරයෙන් ඉන්ධන දිය නොහැකි බව ඇමැතිවරයා සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය ඩොලර් ලබා දුනනොත් ඛනිජ තෙල් ආනයනය කළ හැකි බවත් ඒ සඳහා සතියක පමණ කාලයක් ගත වනු ඇති බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

දැනට තිබෙන ඉන්ධන විදුලිය නිෂ්පාදනයට ලබා දුන හොත් වාහන සඳහා ඉන්ධන සැපයිය නොහැකි වනු ඇති බවද ඉන්ධන නොමැති වුවහොත් විදුලිය සැපයුම පැයකට දෙකකට කපාහැර තත්ත්වය කළමනාකරණය කිරීමට හැකියාව ඇති නමුත්, වාහන ධාවනය සඳහා එවැනි පියවරකට යා නොහැකි බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න