ඩොලර් කෝටි 100ක් - 200ක් හොර පාරෙන් රටට එනවා | දිනමිණ

ඩොලර් කෝටි 100ක් - 200ක් හොර පාරෙන් රටට එනවා

නීති විරෝධිව එවන මුදල්වලට වැට බඳින බව මහ බැංකුවේ අධිපති කියයි

වසරකට ඩොලර් කෝටි 100 - 200 අතර මුදලක් උන්ඩියල් සහ හවාලා නීතිවිරෝධී ක්‍රමවේද හරහා හුවමාරු වන බව විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ සෙසු පිරිස් මෙරටට විදේශ මුදල් එවීමේදී මෙවැනි හුවමාරුකම භාවිතයට ගන්නා බවට තොරතුරු ලැබී ඇතැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි. මේ ක්‍ර‍මවේද හරහා මෙරටට මුදල් එවීම හැකි තරම් දුරට පාලනය කිරීමට සහ ඒවාට වැට බැඳිමට ශ්‍රී ලංකා මහ බැංකුව පුළුල් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

වසරකට ශ්‍රී ලංකාවේ විදෙස් මුදල් හුවමාරුව එක්සත් ජනපද ඩොලර් කෝටි 6000ක් (එ.ජ. ඩොලර් බිලියන 60ක්) බැංකු ක්‍රමය හරහා නීත්‍යානුකූලව සිදුවන බව ද අධිපතිවරයා කීය. ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කරන විදේශ විනිමය අනුපාතයන්ට යටත්ව මේසා විශාල ගනුදෙනු සංඛ්‍යාවක් සිදුවෙද්දී ඉන් පරිබාහිරව ඩොලරයට වැඩි රුපියල් ප්‍රමාණයක් ලබාදෙමින් නීත්‍යානුකූල නොවන මාර්ග ඔස්සේ මුදල් ගනුදෙනු කිරීම සිදු වන බව දක්නට ලැබේ.

මේ තත්ත්වය පාලනය කිරිම සඳහා නීත්‍යානුකූල නොවන මාර්ගයන්ගෙන් විදෙස් මුදල් ගනුදෙනු කරන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට ඉදිරියේදී සූදානම් බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

උන්ඩියල් සහ හවාලා ක්‍රමවේදයට අනුව එක්සත් ජනපද ඩොලර් එකක් සඳහා රුපියල් 240 – 250 මුදලක් ගෙවන අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය අනුපාත පවත්වා ගනුයේ ඩොලරයට රුපියල් 200ක මට්ටමකය. ඊට අමතරව විදෙස් මුදල් එවන්නන්ට සෑම ඩොලරයකටම රුපියල් 10ක අතිරේක මුදලක් ගෙවීමට මහ බැංකුව සියලු බැංකුවලට උපදෙස් ලබාදී තිබේ. එම මුදලට අමතරව කිසිදු මුදලක් ගෙවීමට මහ බැංකුව කිසිදු බැංකුවකට උපදෙස් හෝ මගපෙන්වීම් ලබාදී නැති බව ද අධිපතිවරයා කීය.

ජයසිරි මුණසිංහ

නව අදහස දක්වන්න