කාබනික ගොවිතැනේ ඉදිරි ගමන්මඟ | දිනමිණ

කාබනික ගොවිතැනේ ඉදිරි ගමන්මඟ

රසායනික පොහොර ආනයනය කිරීම නවතා අප රට තුළ නැවතත් කාබනික පොහොරින් කරන ගොවිතැන වෙත අවතීර්ණ වීමේ දී මේ වන විට විට විවිධ ගැටලු පැන නඟිමින් තිබේ. එම ගැටලු සහිත තත්ත්වයන් නිරාකරණය කර ගනිමින් ඉදිරියට තැබූ පය නැවතත් ආපස්සට නොහරවා මෙම වැඩපිළිවෙළ සාර්ථක ලෙස කර ගෙන යෑමට අවශ්‍ය සාධක සකස් කර ගත යුතු වේ.

කෘෂි කර්මාන්තය සඳහා භාවිතයට ගන්නා පොහොර වර්ග දෙකකි. එනම් කාබනික පොහොර සහ රසායනික පොහොරය. ශාක වර්ධනය සඳහා අවශ්‍ය වන මූලද්‍රව්‍ය සපයා ගන්නේ පොහොර මඟිනි. තාක්ෂණයේ දියුණුවත් සමඟ අද වන විට ශාකයක වර්ධනය සඳහා මූලද්‍රව්‍ය 21ක් අවශ්‍ය බව සොයා ගෙන ඇත. මෙම මූලද්‍රව්‍ය මඟින් ශාකයක් සාර්ථක ලෙස වර්ධනය වී මුළු ජීවීත කාලයම රඳා පවත්වා ගනී. කාබනික හෝ රසායනික හෝ පොහොර මඟින් සිදු කෙරෙන්නේ ශාකවලට අවශ්‍ය මෙම මූලද්‍රව්‍ය සැපයීමය.

අමුද්‍රව්‍ය සහ තාක්ෂණය

ශාකවල වර්ධනයට මූලද්‍රව්‍ය අවශ්‍ය වුව ද ස්වාභාවික වනාන්තරවල වැවෙන ශාකවලට පොහොර දැමීමක් සිදු වන්නේ නැත. එහෙත් ස්වාභාවික වනාන්තරවල පසෙහි ඇති සියලුම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය ස්වාභාවික ලෙස සිදු වේ. ශාකයක හෝ භෝගයක නිෂ්පාදනය වන ඵලයක් වුව ද සතකු විසින් කා දැමුවේ ද එහි අපද්‍රව්‍ය කැලය තුළම බිම වැටී ඉතිරි වී පස තුළම දිරාපත් වී යයි. මේවා නැවත ශාකවලට පොහොරක් ලෙස එක් වෙන බැවින් විශේෂයෙන් පොහොර දැමීම අවශ්‍ය නොවේ. එහෙත් කෘෂිකාර්මික පරිසරයක වැවෙන භෝගයක අස්වැන්න එම පරිසර පද්ධතියෙන් ඉවත් කිරීමක් සිදු කෙරේ. මෙහිදී පසෙන් ලැබෙන පෝෂක කොටස් අස්වැන්න ලෙස ඉවත් කිරීමේ දී පසට දැනෙන අඩුව පිරවිය යුතු වේ. එම නිසා කෘෂිකාර්මික පරිසරයක වැවෙන භෝගයන්ට පොහොර දැමීම කළ යුතු වේ. ඒවා රසායනික හෝ කාබනික හෝ ගැටලුවක් නොවුව ද මේ දෙකෙහිම ඇත්තේ මූලද්‍රව්‍යයන්ය.

එහෙත් අපේ රට තුළ පැන නැඟී තිබෙන සෞඛ්‍යය සහ පරිසර ගැටලු හේතුවෙන් රසායනික පොහොර සම්බන්ධ විශාල ගැටලුවක් මතු වී තිබේ. එමෙන්ම ලෝක බලශක්ති අර්බුදය සමඟ ඉන්ධන, ස්වාභාවික වායු අවශ්‍ය පමණ නොමැති ලෝකයේ සෑම රටකටම රසායනික පොහොර නිපදවීමේ දුෂ්කරතා මතු වී තිබේ. මේ නිසා බලශක්ති අර්බුදයන්ට මුහුණ දෙන රටවල් අන්ත අසරණ වී සිටිති. ශ්‍රී ලංකාව සතු ස්වාභාවික බලශක්ති සම්පත් නොමැති හෙයින් රසායනික පොහොර නිෂ්පාදනය කිරීම කළ නොහැකිය. විශේෂයෙන් ස්වාභාවික වායු නොමැති වීම හේතුවෙන් යූරියා නිපදවීම කළ හැකි නොවේ. පරිසර සහ සෞඛ්‍ය ගැටලු මෙන්ම ආර්ථික ගැටලු හේතුවෙන් ද අප රට තුළ රසායනික කෘෂිකර්මාන්තය කළ නොහැකිය. රසායනික පොහොරවල මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ. රට තුළ ආහාර නිෂ්පාදනය දිගටම කර ගෙන යා යුතු බැවින් පොහොර සම්බන්ධව විකල්පයකට යෑමට අපට සිදු වේ.

මේ නිසා ඉතා සුදුසුම විකල්ප ක්‍රම වේදය වන්නේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සහ ඒවා භාවිතයයි. මේ සඳහා ගුණාත්මයෙන් ඉතා වැඩි, අස්වැන්න අඩු නොවන පසට නිසියාකාරව පෝෂක සපයන කාබනික පොහොර ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කළ යුතුය. ඒ සඳහා අමුද්‍රව්‍ය සහ තාක්ෂණය මෙරට තුළ ඕනෑවටත් වඩා තිබේ. මෙහිදී වැදගත් වන්නේ අමුද්‍රව්‍ය කළමනාකරණයයි. මේ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් විය යුතුය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඒ සඳහා වැඩපිළිවෙළක් මේ වන විට සකස් කොට ඇති අතර ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදනය සිදු කෙරෙමින් පවතී.

පොදුවේ මහජනයාට ඇති ගැටලු වන්නේ කාබනික පොහොර යොදා නිපදවා ගන්නා භෝගවල තමන් අපේක්ෂා කරන්නා වූ අස්වැන්නක් ලැබේ ද සහ මේ හා සමඟම සාගතයක් පැමිණේ ද යන්නය. එහෙත් අස්වැන්න තීරණය වන්නේ භෝගවලට දමන පොහොර කාබනික ද රසායනික ද යන්න මත නොව යොදන පොහොර වර්ගයේ ගුණාත්මකභාවය මතය. මේ නිසා යොදන පොහොර වර්ගය කාබනික වුව ද එය ගුණාත්මක නම් වැඩි අස්වැන්නක් ලබා ගත හැකිය. පොහොර කාබනික වුව ද රසායනික වුව ද ගුණාත්මක බවින් අඩු නම් වැඩි අස්වැන්නක් ගත නොහැකි වන අතර ඉන් අසරණ භාවයට පත් වන්නේ ගොවීන්ය.

කාබනික පොහොර නිෂ්පාදන තාක්ෂණය ඉතා සංකීර්ණ වන අතර එය ක්ෂුද්‍ර මූලද්‍රව්‍ය, මූලද්‍රව්‍ය සහ ඛණිජ මිශ්‍ර කරමින් සාදා ගන්නා එකක් නොවන අතර එය කාබනික සහ ස්වභාවික ඛනිජ යොදා ගනිමින් සාදා ගනී. කාබනික පොහොරවල ද අකාබනික ද්‍රව්‍ය ද අඩංගු විය හැකිය. එම නිසා මෙම පොහොර කාබනික වගාව සඳහා නිර්දේශිත පොහොර ලෙස හැඳින්වීම වඩාත් සුදුසුය. මේවා සත්ත්ව සහ ශාක සම්භවයක් සහිත එප්පාවල පොස්ෆේට් සහ මයිකා වැනි ස්වාභාවික ඛනිජ අඩංගු පොහොරකි. මේවායේ ස්වාභාවික පෝෂක කොටස් අඩංගු වේ. කෙටි කාලීන භෝගවල අස්වැන්න තීරණය කරන ප්‍රධානම මූලධර්මය වන්නේ නයිට්‍රජන්ය. කෙටි කාලීන භෝග ලෙස ගැනෙන්නේ වී, ඉඩ ඉරිඟු සහ එළවළුය. මේවා මාස කිහිපයකින් පල දරන භෝගයන්ය.

කාබනික සහ ජෛව පොහොර

මේ නිසා නයිට්‍රජන් නමැති මූලද්‍රව්‍යය අවශ්‍ය පමණට යොදා කාබනික පොහොර නිෂ්පාදනය නිවැරැදිව කර ගෙන ගිය හොත් දීර්ඝ කාලීනව කාබනික කෘෂිකර්මය තුළ අස්වැන්න වැඩි වේ. මේ නිසා පස විනාශ නොවී පස දිනෙන් දින සරුභාවයට පත් වේ.

ලෝකයේ තිබෙන නූතන තාක්ෂණය භාවිත කොට ශ්‍රී ලංකාව තුළ ඇති අමුද්‍රව්‍ය යොදා ගනිමින් එක් එක් භෝග සඳහා නියමිත පරිදි පෝෂක සංයුතිය වෙනස් වන ආකාරයට භෝග සඳහා සුදුසු කාබනික පොහොර නිෂ්පාදනය කිරීම කළ යුතුය. එවිට අස්වැන්න අඩු වේ යැයි පසුතැවිලි විය නොහැකිය.

කාබනික පොහොර දියර සහ ඝන වශයෙන් ආකාර දෙකකි. ජෛව පොහොර යනුවෙන් තවත් වර්ගයකි. මෙහි ඇති නයිට්‍රජන් නිෂ්පාදනය කරන ස්වාභාවික ක්ෂුද්‍ර ජීවීන් ශාක වර්ධනය සඳහා උපකාරි වේ. එමෙන්ම ජෛව පොහොර යනු පසේ තිබෙන අනෙක් මූලද්‍රව්‍ය ශාකවලට අවශෝෂණය කර ගත හැකි ආකාරයට ඇති ක්ෂුද්‍ර ජිවීන්, ශාක වර්ධනයට අවශ්‍ය හෝමෝන වර්ග නිෂ්පාදනය කරන ක්ෂුද්‍ර ජීවීන් ආදියේ සංකලනයකි. මේ නිසා කාබනික පොහොර සහ ජෛව පොහොර නියමිත පරිදි මිශ්‍ර කොට නියමිත වේලාවට භාවිත කළ හොත් කාබනික වගාවේ උපරිම අස්වැන්න ගත හැකි වේ.

අන්තර්ජාතික වශයෙන් ඉහළින් පිළිගන්නා සඟරාවක් වන නේචර් (Nature)හි සඳහන් වූයේ චීන නිෂ්පාදකයින් කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර, රසායනික පොහොර සංයුතියම යොදා කරන ලද පරීක්ෂණයක දී රසායනික පොහොර යොදා ලබා ගන්නවාට වඩා සියයට 15කට වැඩි අස්වැන්නක් ලබා ඇති බවය. මේ නිසා කාබනික තාක්ෂණයට හෝ කාබනික පොහොරවලට බිය විය යුතු නැත. මෙහිදී වැදගත් වන්නේ කාබනික තාක්ෂණය ඉගෙන ගැනීමය. එම නිසා අප රටේ විද්‍යාඥයන් කළ යුත්තේ පසුගාමී නොවී ලෝකයේ කාබනික තාක්ෂණය තුළින් අති විශාල ගුණාත්මක අස්වැන්නක් ලබා ගන්නේ කෙසේ දැයි සොයා බලා එය අප රට තුළ ද ක්‍රියාත්මක කිරීමට පසුබට නොවීමය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ද ගුණාත්මක බවින් යුතු පොහොර නිෂ්පාදනය කළ යුතුය.

එමෙන්ම වංචා සහගත ලෙස සහ බාල වර්ගයේ පොහොර වෙළෙඳපොළ තුළට ගෙන ඒම සම්බන්ධව රජය විසින් දැඩි පියවර අනුගමනය කළ යුතු වේ. එසේ නොවුණ හොත් සිදු වන්නේ බාල වර්ගයේ පොහොර නිසා සමස්තයක් ලෙස මෙම කාබනික කෘෂිකර්මය මෙරට තුළ කළ නොහැකි දෙයක් බවට පත් වීමය. වෙළෙඳපොළ තුළ ඇති බාල වර්ගයේ පොහොර නිසා ගොවීන්ට සිදු වන්නේ විශාල හානියකි. මේ සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සහ ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුවට බලතල දිය යුතුය. එමෙන්ම බිම් මට්ටමේ ගොවීන් වෙත මෙම නව තාක්ෂණය ගෙන යා යුතුය. එවිට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය නව නැම්මක් කරා ගෙන යා හැකි වේ.

ගොවියන්ට ද ඉතා පහසුවෙන් කාබනික පොහොර සාදා ගත හැකිය. මේ සඳහා කාබනික පොහොර නිපදවීමේ තාක්ෂණය ගොවියන්ට දිය යුතු වේ. මෙම තාක්ෂණය තුළින් සති තුනක්, දින 18ක් වැනි කෙටි කලක් තුළ තත්ත්වයෙන් උසස් කාබනික පොහොර නිෂ්පාදනය කළ හැකිය. එමෙන්ම මාස තුනක් ඇතුළත නිෂ්පාදනය කර ගත හැකි කාබනික පොහොර ද තිබේ. එක් එක් අවශ්‍යතා සඳහා කාබනික පොහොර නිෂ්පාදනය සඳහා ගොවීන්ට තමන්ගේ ගම් ප්‍රදේශයේ ඇති කොළ පැහැති ද්‍රව්‍ය එනම් තණකොළ, වල් පැළ ද, සැල්වීනියා, වැලිස්නේරියා, ජපන් ජබර වැනි ජලජ වල් පැළෑටි ද මේ සඳහා අවශ්‍ය වේ. එමෙන්ම දුඹුරු පැහැති ද්‍රව්‍ය එනම් වියළි කොළ, පිදුරු, බඩ ඉරිඟුවල අස්වැන්න නෙළූ පසු අපද්‍රව්‍ය ද මේ සඳහා අවශ්‍යය. මෙම කොළ පැහැති සහ දුඹුරු පැහැති අපද්‍රව්‍ය එකට එක අනුපාතයෙන් ගෙන යන්ත්‍රානුසාරයෙන් අඹරා මිශ්‍ර කර ගත යුතුය. මෙම මිශ්‍රණයට ක්ෂුද්‍ර ජිවීන් එකතු කිරිම සඳහා කැලයෙන් පස් සාම්පලයක් ගෙනැවිත් දමා නියමිත වතුර ප්‍රමාණයක් මිශ්‍ර කර ඉතා පහසුවෙන් තමන්ටම ගුණාත්මක කාබනික පොහොරක් නිපදවා ගත හැකිය. මේ ආකාරයෙන් තමන්ගේ කන්නය සඳහා පොහොර මෙට්‍රික් ටොන් පහක් සාදා ගන්නා ගොවීන් අප අතර සිටිති. හෙක්ටයාරයකට අවශ්‍ය වන්නේ පොහොර මෙට්‍රික් ටොන් එකක් පමණි. මෙය ඉතා පහසුවෙන් කර ගත හැකිය.

ගොවිතැන සමඟ සත්ත්ව ගොවිපළක්

අපේ අසල්වැසි රට වන ඉන්දියාවේ එක් නිවෙසක එක ගවයකු සිටින අතර මේ ගවයා රාත්‍රියට ලැගුම් ගන්නා ස්ථානයේ පොළොවට සිමෙන්නි දමා රාත්‍රී කාලය තුළ ගවයා පිට කරන මුත්‍රා එකතු කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කොට තිබේ. මෙම ගව මුත්‍රා ඉතා හොඳ නයිට්‍රජන් අඩංගු පොහොරකි. නිවෙසේදී සකස් කර ගන්නා පොහොරවලට මෙම ගව මුත්‍රා එකතු කිරිමෙන් ගුණාත්මක බවින් යුතු පොහොරක් බවට පත් වේ. මේ නිසා ගව සම්පත ඉතා වැදගත් වේ. එමෙන්ම කුකුළන්ගේ මලද්‍රව්‍ය ද මේ ආකාරයෙන් පොහොරක් ලෙස භාවිත වේ. සත්ත්ව නිෂ්පාදන අපද්‍රව්‍ය මඟින් ගුණාත්මක බවින් වැඩි පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව තිබේ. ගොවිතැන සමඟ සත්ත්ව ගොවිපළක් පවත්වා ගෙන යෑමේ වටිනාකම මින් පැහැදිලිය.

මේ වන විට කෘෂිකර්ම අමාත්‍යංශයේ පශු වෛද්‍ය නිලධාරිනියක් මැදිහත් වී කිරි ගවයන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් යොදා ගනිමින් කිරි ගවයන්ගේ අපද්‍රව්‍ය ඉතා කාර්යක්ෂම අන්දමින් භාවිත කොට පොහොර නිෂ්පාදන වැඩපිළිවෙළක් සකස් කොට තිබේ. මෙම සැලසුම ලබන පෙබරවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කෙරේ.

එමෙන්ම මුහුදුබඩ කලාපයේ මත්ස්‍ය අපද්‍රව්‍ය මඟින් නයිට්‍රජන් අඩංගු පොහොර ඉතා පහසුවෙන් සාදා ගැනීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකය. මේ සඳහා චීන තාක්ෂණය යොදා ගැනේ. මෙය ඉතා ප්‍රතිඵලදායකය. කල්පිටිය මුහුදු තීරයේ ද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතින අතර පෑලියගොඩ මාළු වෙළෙඳපළේ ද මාළු අපද්‍රව්‍ය උපයෝගි කර ගනිමින් තාක්ෂණය යොදා ගෙන පොහොර නිෂ්පාදන කටයුතු අරඹා තිබේ. චීනය සහ ජපානය සතු කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ තාක්ෂණය අප සතු කර ගත හොත් නැවත අප රට තුළට යූරියා ආනයනය කිරීම අවැසි නොවේ.

චතුමී පිටිපන

නව අදහස දක්වන්න