රට පුරා කර්මාන්ත ඇති කරන්න අපි සූදානම් | දිනමිණ

රට පුරා කර්මාන්ත ඇති කරන්න අපි සූදානම්

ජෙනරාල් දයා රත්නායක ලේකම් - කර්මාන්ත අමාත්‍යාංශය

  • අපි අභියෝගවලට සාර්ථකව මුහුණදීලා ජයගෙන ලෝකයට පෙන්වපු රටක්
  • රජය ආනයනකරුවන්ට විශාල සහන දී තිබෙනවා
  • අපි පරන්තන් ප්‍රදේශයෙත් කර්මාන්ත පටන් ගන්නවා

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවට පමණක් නොව පොදුවේ සමස්ත ලෝකයටම දැඩි ලෙස බලපෑම් එල්ල වී තිබේ. ආර්ථික වශයෙන්, සම­ාජයීය වශයෙන් පමණක් නොව සෑම ක්ෂේත්‍රයකටම මේ තුළින් දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර රටක් ලෙස ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් පසුබෑමට ලක්ව තිබෙන බව නොරහසක්. ඒ අනුව පවතින තත්ත්වය තුළ ආර්ථික වශයෙන් ඉදිරියට ගමන් කිරීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග මෙන්ම කර්මාන්ත අංශයේ දායකත්වය, මේ වන විට ක්‍රියාත්මක වැඩසටහන් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් දයා රත්නායක මහතා සමඟ "දිනමිණ" කළ සංවාදයකි.

 කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යම්කිසි පසුබෑමට ලක්ව තිබෙනවා. මේ අභියෝගය ජය ගනිමින් රටක් වශයෙන් ඉදිරියට යන්නේ කෙසේ ද ?

ලෝකය පුරා වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක අපි වැනි රටකට එය බලපාන එක පුදුමයක් නොවෙයි. ක්‍රමානුකූලව නිවැරැදි ක්‍රමවේදයකට අපේ රට ගමන් කර නැහැ. ඒ තත්ත්වය නිදහසින් පසුව බලන විට දැක ගන්න පුළුවන්. එවැනි අවස්ථාවක දරුණු ව්‍යසනයක් පවතින අවස්ථාවක ඊට මුහුණ දෙන්න වෙනවා. මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න තරම් ආර්ථික ශක්තියක් අපිට තවමත් නැහැ. සමාජ ආර්ථික තත්ත්වයකුත් නැහැ. මෙවැනි අවස්ථාවක වසංගතයත් පැමිණි විට රට අර්බුදයකට ලක් වෙනවා කියන එක පුදුමයක් නොවෙයි. මෙවැනි අපි අභියෝගවලට මුහුණදීලා, සාර්ථකව ජය ගෙන ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය කළ රටක්. ඒ නිසා ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව මේ වසංගතය අද වන විට ඉතා හොඳින් ජයග්‍රහණය කර තිබෙනවා. ඒ අනුව මේ වන විට අපි ඉදිරියේ තිබෙන ආර්ථික ප්‍රශ්නය, සමාජ ප්‍රශ්නය ඉදිරි වසර දෙක තුනක කාලය තුළ අපි අනිවාර්යයෙන් ජය ගන්නවා කියන විශ්වාසය මට තිබෙනවා.

රටේ පවතින තත්ත්වය තුළ ආර්ථිකය ගොඩනැඟීමේ කාර්යයේදී කර්මාන්ත අංශයෙන් ලැබිය යුතු දායකත්වය කෙසේ ද ?

මේ අභියෝගය අපේ අමාත්‍යාංශය ගෙන තිබෙන අවස්ථාවක්. රටේ මෙතෙක් ආනයනය කළ වාහන නවතා තිබෙනවා. විවිධ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ආනයනය පාලනය කර තිබෙනවා. ආර්ථිකයත් සමඟ යන විට මෙවැනි තීරණ ගැනීම රටේ අවශ්‍යතාවක් වෙනවා. මේ නිසා දේශීය නිෂ්පාදනවලට විශාල රුකුලක් වී තිබෙනවා. අපිට දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි විශාල භාන්ඩ ප්‍රමාණයක් කිසිදු පාලනයකින් තොරව රටට ආනයනය කළා. ඒ තුළින් විදේශ විනිමය අපේ රටෙන් පිටරටවලට යනවා පමණක් නොව දේශීය නිෂ්පාදකයාට ද අවස්ථාව අහිමි වෙනවා. ඔවුන්ගේ ආර්ථිකයටත් එය පහරක් වෙනවා. මේ සඳහා ආනයනය සීමා කිරීම් විශාල පිටිවහලක් වෙනවා. කර්මාන්ත අමාත්‍යාංශය මේ අවස්ථාව අභියෝගයක් ලෙස ගෙන ප්‍රධාන වශයෙන් ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා. සෑම අමාත්‍යාංශයකින්ම සිදු වන ක්‍රියාදාමය තුළ කර්මාන්ත කොටසක් තිබෙනවා. කහ ආනයනය නතර කළා. ඒ නිසා විශාල වශයෙන් කහ වගාකොට තිබෙනවා.

මේ තත්ත්වය තුළ අද වනවිට අතිරික්තයක් ඇතිවන ආකාරයට ගොවියන් විශාල වශයෙන් වගා කර තිබෙනවා. මේ නිෂ්පාදනය අගය එකතු කරන්නත් අපිට හැකියාව තිබෙනවා. ඒ තුළින් වෙනත් නිෂ්පාදන කරන්න පුළුවන්. ඒ තත්ත්වයට අපේ අවධානය යොමු කර තිබෙනවා. ගොවියාටත් පාරිභෝගිකයාටත් අසාධාරණයක් නොවන විදියට කහ යම් ස්ථාවර මිලකට පවත්වාගෙන යන්නත් එයින් වෙනත් නිෂ්පාදන කරන්නත් කටයුතු කළයුතු වෙනවා. ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය මූලිකත්වය ගෙන තිබෙනවා. වාහන ආනයනය නවතා තිබෙනවා. මේ තුළින් විශාල ප්‍රගතියක් අපි දක්නවා. මේ වසර තුළ වාහන 5000ක් පමණ රටතුළ එකලස් කර තිබෙනවා. ඒ සඳහා අගය එකතු කිරීම් කර තිබෙනවා. අපි මුලින්ම පටන් ගත්තේ සියයට 20 කින් අගය එකතු කරන්න. ඒ වෙනුවෙන් රජය විසින් ආනයනකරුවන්ට විශාල වශයෙන් සහන දී තිබෙනවා. එය ප්‍රයෝජනයට අරගෙන මේ දක්වා රටේ තිබුණු කර්මාන්ත, ආයතන සඳහා තවත් එක්ව තිබෙනවා.

අලුතින් මේ ව්‍යාපාර කටයුතු කරන්න අපි සමඟ ලියාපදිංචි වී සිටිනවා. යතුරු පැදි, ට්‍රැක්ටර් ඇතුළුව කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් අවශ්‍ය යන්ත්‍ර එකලස් කරන්න මේ වන විට කටයුතු කරගෙන යනවා. රජයේ ආයතනවල වාහන දහස් ගණනක් මේ වන විට ධාවනයෙන් ඉවත්කර තිබෙනවා. ඒවා නැවත අලුත්වැඩියා කරලා ධාවනය සඳහා යොදා ගන්න පියවර ගෙන තිබෙනවා. ඒවා සුළු වියදමින් කරගෙන යන්න වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙවැනි තවත් විශාල වැඩසටහන් අපි ආරම්භ කර තිබෙනවා. අබලි යකඩ විදේශ රටවලට යවන එක නතර කර තිබෙනවා. එය විශාල ජාවාරමක්. මේවා නතර කිරීම තුළ නව ව්‍යාප­ාර පැමිණ තිබෙනවා. ඛණිජ වැලි, මිනිරන් වැනි දේශීය අමුද්‍රව්‍ය අපේ රටේ තිබෙනවා. මේවා මෙතෙක් කල් විදේශ රටවලට යවා තිබෙන්නේ අමුද්‍රව්‍ය ලෙසයි. මේවාට අගය එකතු කරන්න පියවර ගෙන තිබුණේ නැහැ. නමුත් දැන් ඒ කටයුතු සිදු වෙනවා. මෙවැනි දේ විශාල ප්‍රමාණයක් කර්මාන්ත අමාත්‍යාංශය හරහා සිදු වෙනවා. මේ වෙනුවෙන් අවශ්‍ය මානව සම්පත අපේ රටේ තිබෙනවා.

ආර්ථික වශයෙන් ඉදිරියට යාමේදී නිෂ්පාදන සඳහා සුවිශේෂී ස්ථානයක් හිමිවෙනවා. අලුතින් කර්මාන්ත ආරම්භ කිරීම සඳහා ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවා ද ?

අලුතින් කර්මාන්ත ආරම්භ කිරීම විශාල පරාසයක්. කුඩා කර්මාන්ත තිබෙනවා. මැටි, පිත්තල, වේවැල් කර්මාන්තය අපේ රටේ තිබෙනවා. ඒ වෙනුවෙන් වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ තුළින් විශාල වශයෙන් අලුත් නිෂ්පාදන ඇති වෙනවා. ඒ වගේම මැණික් හා ස්වර්ණාභරණ සඳහා වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කර තිබෙනවා. ඒ තුළ මැණික් වෙනුවෙන් අගය එකතු කිරීමක් කර තිබෙනවා. බතික්, අත්යන්ත්‍ර හා‍ රෙදිපිළි අමාත්‍යාංශයක් තිබෙනවා. මෙවැනි දේ වෙනුවෙන් වෙනම අමාත්‍යාංශ මෙතෙක් තිබුණේ නැහැ. නමුත් මේ අවස්ථාවේ එවැනි දේශීය නිපුණතාවක් සහිත හැකියාවන් සහිත අයට වෙනම අමාත්‍යාංශයක් තුළ කර්මාන්ත පටන් ගන්න පුළුවන්. ඒ ඒ අංශ තුළ කර්මාන්ත සඳහා විශාල දියුණුවක් පෙන්වා තිබෙනවා. එක් කාලයකට විශාල වශයෙන් ආහාර විනාශ කරනවා. මේ තත්ත්වය තුළ ආහාර දිගු කල් පවත්වාගෙන යාම වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරනවා. ආහාර දිගු කලක් තබා ගැනීම වෙනුවෙන් කටයුතු කළයුතු වෙනවා.

අලුතින් කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් පටන් ගන්නට යාමේදී විවිධ කොන්දේසිවලට යටත් වීමට සිදු වෙනවා. ඒ වගේම විවිධ බාධක තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ කොන්දේසි ලිහිල් කිරීම වෙනුවෙන් රජය අනුගමනය කරන ක්‍රමවේදය කුමක් ද ?

මෙය විශාල ප්‍රශ්නයක්. කෙනකුට කර්මාන්තයත්, ව්‍යාපාරයක් පටන් ගන්න යනවා නම්, ඔහුට එපා වන විදියේ වැඩ තමයි අපේ රටේ තිබෙන්නේ. ඒ ගැන කනගාටු වෙනවා. නමුත්, මේ තිබෙන ප්‍රවණතාව තුළ අද වන විට විශාල වෙනසක් ඇතිවීගෙන යනවා. ඒ පරිවර්තනය සිදුව තිබෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගත් විට රටට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය වෙනවා. රාජ්‍ය අංශයේ සහ අනෙකුත් අයගේ සිතුම් පැතුම්වල, ආකල්පවල විශාල වෙනසක් ඇතිවීගෙන යනවා. ඒ තුළ රටේ නිෂ්පාදනය වෙනවා. මෙවැනි හොඳ ප්‍රවණතා තිබෙනවා. ඒ තත්ත්වය තුළ මීට පෙර පැවැති අපහසුතා විශාල වශයෙන් අඩු වී තිබෙනවා. මිනිසුන්ගේ කාලය නාස්ති නොකර ඉතා උනන්දුවෙන් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර දෙන්න හැකි තත්ත්වයක් කාර්යාලවල මේ වන විට දකින්න පුළුවන්. ඒ සමඟම තැන් තැන්වල නොගොස් එක් තැනකට ගෙනවිත් සියලු අවශ්‍යතා එක් ස්ථානයකදී ඉටුකර ගන්න හැකි තත්ත්වයක් මේ වන විට ඇතිකර ගෙන යනවා. හම්බන්තොට මේ වන විට කර්මාන්ත ඇතිව තිබෙනවා.

එතැනදී වරායෙන් එක් තැනකදී (One Stop Shop) අමාත්‍යාංශ කිහිපයක කටයුතු එක් තැනකදී කරගන්න හැකි තත්ත්වයක් ඇති කර තිබෙනවා. ඒ තුළින් දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ඉතා ඉක්මනින් විවිධ ආයතනවල අනුමැතීන් ගන්න පුළුවන් වෙනවා. අපි මෙවැනි තත්ත්වයක් කොළඹටත් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ පහසුකම් දෙනවා. බිම් මට්ටමේ, මධ්‍ය මට්ටමේ හා ඉහළ මට්ටමේ මේ කටයුතු සිදු වෙනවා. බස්නාහිර පළාතේ පමණක් දේශීය ආයෝජකයන් 165 කට ආසන්න ප්‍රමාණයක් රුපියල් මිලියන 50,000 ක පමණ මුදලක් ආයෝජනය කොට විවිධ කර්මාන්ත පටන් ගන්න මේ වන විට ඉල්ලුම්කර තිබෙනවා, තෝරාගෙන තිබෙනවා. යම්කිසි ප්‍රමිතියකට අනුව මේ පිරිස තෝරා ගෙන තිබෙනවා. ඒ අයට අවශ්‍ය ඉඩම් නැහැ. ඉඩමක් ලැබුණත් ඒ සඳහා ඔප්පුවක් ලැබෙන්න යම්කිසි කාලයක් ගතවෙනවා. විවිධ හේතු නිසා එවැනි තත්ත්වයක් තිබෙනවා.

ඒ නිසා මේ තත්ත්වයන් වළක්වලා ඒ අයට ඉක්මනින් ඒවා ගන්න මුදල් අමාත්‍යාංශයෙන් මුදල් ඇමැතිවරයාගේ නායකත්වයෙන් අදාළ සියලු අමාත්‍යාංශ එක් තැනකට ගෙනවිත් එක් මොහොතක දී අවශ්‍යතා සඳහා අනුමැතිය දීම් අපි මේ වන විට කරගෙන යනවා. ඇමැතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු, නිලධාරීන් මට්ටමින් මේ සාකච්ඡා අද වන විට සිදු වෙනවා. මේ තත්ත්වයන් සිදු වෙනවා. ඒ තත්ත්වය තුළ යම් අයකු ව්‍යාපාරයක් පටන් ගන්න විශාල කාලයක් ගත වන තත්ත්වය අවම වෙනවා. කොළඹ මේ වන විට කර්මාන්ත විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ තත්ත්වය තුළ අලුතින් කර්මාන්ත ආරම්භ කරන්න සූදානම් වන අය කොළඹින් පිටතට ගොස් කර්මාන්ත ආරම්භ කිරීම වෙනුවෙන් ඔවුන්ව දිරි ගන්වනවා. කොළඹින් පිට පහසුකම් අවම වෙන්න පුළුවන්. පරන්තන් ප්‍රදේශයෙත් අපි කර්මාන්ත පටන් ගන්න යනවා. රටේ විවිධ ප්‍රදේශවලට මේ කර්මාන්ත ගෙනයන වැඩසටහනක් අපි කරගෙන යනවා. එවිට එම කර්මාන්ත වෙනුවෙන් අවශ්‍ය පහසුකම් දෙන්නත් අපිට පුළුවන් වෙනවා.

රටේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා ආයෝජන ඉහළ නැංවීමේදී විදේශීය ආයෝජන ද ඉතා වැදගත් වෙනවා. පවතින තත්ත්වය තුළ විදේශීය ආයෝජකයන් ගෙන්වා ගැනීම වෙනුවෙන් රජය ගෙන තිබෙන ක්‍රියාමාර්ග මොනවා ද ?

විදෙස් ආයෝජකයන් රටට ගෙන්වා ගැනීම වෙනුවෙන් සුදුසු වාතාවරණයක් රට තුළ නිර්මාණය කර ගැනීම අවශ්‍ය වෙනවා. ඒ වෙනුවෙන් ස්ථාවර මට්ටමක් පැවතීම, නීතිරීති ලිහිල් වීම අවශ්‍ය වෙනවා. මේ අවස්ථාව වන විට අපේ රටට පැමිණෙන විදෙස් ආයෝජකයන්ගේ ප්‍රමාණයේ යම්කිසි අඩුවක් තිබෙනවා. රටේ තිබෙන විවිධ ස්ථාවරයන් ඒ වෙනුවෙන් බලපානවා. වාහන එකලස් කිරීම වෙනුවෙන් විදෙස් ආයෝජකයන් උනන්දුවක් දක්වනවා. මේ තත්ත්වය සඳහා මේ රටේ තිබුණු ලොකුම ගැටලුව තමයි අපේ රජයන්, ඇමැතිවරු, නිලධාරීන්ගේ පත්වීම් හා මාරුවීම්වලට සාපේක්ෂව ප්‍රතිපත්ති එහා මෙහා වෙනස් වෙනවා. මෙය ව්‍යාපාරිකයන්ට විශාල තර්ජනයක් වෙනවා. මේකට මුහුණ දෙන්න අපි දේශීය කර්මාන්ත ප්‍රතිපත්තියක් හඳුන්වා දෙන්න පියවර ගෙන තිබෙනවා. මෙතෙක් කල් කර්මාන්ත ප්‍රතිපත්තියක් තිබුණා. නමුත් ඒවා කොටස්වලට කැඩිලා එක් එක් පැතිවලට ගිහින් තිබුණා. ජාතික මට්ටමේ තිබුණේ නැහැ. මේ තත්ත්වය තුළ රටේ සම්පත් හා අවශ්‍යතාවලට සාපේක්ෂව ජනාධිපතිතුමාගේ දැක්මට සාපේක්ෂව කර්මාන්ත අමාත්‍යාංශය රටට ගැළපෙන ආකාරයේ දේශීය කර්මාන්ත ප්‍රතිපත්තියක් නිර්මාණය කරගෙන යනවා.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ රටේ කර්මාන්ත අංශයේ බිඳ වැටීමක් සිදු වුණා. ඒ තත්ත්වය තුළ ඔවුන්ගේ ආර්ථිකය සවිමත් කිරීම වෙනුවෙන් රජය විසින් දුන් සහන මොනවා ද ?

කර්මාන්ත අමාත්‍යාංශය ලෙස මේ අවස්ථාවේ රටේ තිබෙන තත්ත්වය තේරුම් ගෙන තිබෙනවා. දේශීය වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගැනීම වෙනුවෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කරගෙන යනවා. අපේ අමාත්‍යාංශයේ ලියාපදිංචි අය වෙනුවෙන් ඒ සඳහා ප්‍රමුඛත්වය දෙනවා. අපනයනය කරන භාණ්ඩ සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙනවා. අපනයනය තුළින් අපේ රටට ඩොලර් උපයා ගන්න පුළුවන් වෙනවා. බිස්කට් කර්මාන්තය ගත්විට ශීඝ්‍රයෙන් දියුණු වෙමින් තිබෙනවා. ඒ තුළින් අපේ රටට ඩොලර් උපයා ගන්න පුළුවන් වෙනවා. මේ කර්මාන්තයට අපි අත හිත දෙනවා. කෙසේ වුව ද රටේ පවතින ගැටලු තත්ත්වය අවම කර ගන්න සාමූහිකව අපි කටයුතු කරනවා. මේ වෙනුවෙන් ඒකාබද්ධ වැඩපිළිවෙළක් තිබෙනවා. සෑම අංශයක් සමඟම අපි සාකච්ඡා කරනවා.

අද වන විට රටේ පවතින තත්ත්වය ආණ්ඩුව හෝ වෙනත් පාර්ශවයක් ඇති කළ තත්ත්වයක් නොවෙයි. ඒ නිසා මේ අර්බුදයෙන් ගොඩයන්න අපි සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතු වෙනවා. අපි එකතු වෙලා බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා. සාමාන්‍යයෙන් වැඩකරන තත්ත්වයට එහා ගොස් වැඩ කළයුතු වන තත්ත්වයක් මේක.

කර්මාන්ත අංශය රටේ ආර්ථිකය සවිමත් කිරීම වෙනුවෙන් විශාල දායකත්වයක් දෙනවා. මේ තත්ත්වය තුළ අමාත්‍යාංශයක් ලෙස රටේ ඉදිරි ගමන වෙනුවෙන් පවතින සැලසුම් මොනවා ද ?

කර්මාන්ත අමාත්‍යාංශය රටේ ආර්ථිකයේ ප්‍රධාන කුලුනක්. මෙහිදී නිෂ්පාදන ආර්ථිකයේ සියයට 80 ට වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ කර්මාන්ත අංශයෙන්. තවත් විශාල කර්මාන්ත තිබෙනවා. අපි ලෝකය ගත් විට ඉතාම හොඳ තැනක අපි ඉන්නවා. ලොව සෑම දිශානතියකටම එක් දුරක් තිබෙන්නේ. ඒ වගේම සම්පත් උපරිමයෙන් තිබෙනවා. ඒ සඳහා මිනිස් සම්පත උපරිමයෙන් තිබෙනවා. තාක්ෂණික දැනුම තිබෙනවා. මේ සියල්ල එක්කොට අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. මේවා වාසනාවක් බවට පත්කර ගත යුතු වෙනවා. එය අපිට හොඳ අවස්ථාවක් කර ගත යුතු වෙනවා. අද ලෝකයම තරගකාරී තත්ත්වයක තිබෙන්නේ. ඒ තරගකාරීත්වයෙන් ඉහළට එන්න අපි උත්සාහ කළ යුතු වෙනවා. ඒ සඳහා අපි අපේම නිෂ්පාදන වැඩි දියුණු කරගත යුතු වෙනවා. මේ සියල්ල කරන්න අපි සියලු දෙනාම ඉවසීමෙන් කටයුතු කළ යුතු වෙනවා. අපි දශක තුනකට ආසන්න කාලයක් යුද්ධය තිබෙන විට අතරමැදි කාලයේදී සොල්දාදුවන් විවිධ ආකාරයෙන් අවඥාවට ලක් කළා. නමුත් අපේ ඉවසීම හා දරා ගැනීමේ ශක්තිය නිසා ත්‍රස්තවාදය අවසන් කරන්න අපිට පුළුවන් වුණා කියා මුළු ලෝකයටම පෙන්නුම් කළා. ඒ සඳහා අවශ්‍යතාව වුණේ නායකත්වය, සංකල්පය සහ පෙළගස්සවා ගැනීම පමණයි අවශ්‍ය වුණේ. අනෙකුත් සියල්ල සොල්දාදුවා තුළ තිබුණා. ඒ නිසා අපිට අවශ්‍ය වන්නේ ඉවසීම සහ දරා ගැනීමේ ශක්තියයි. හැම දෙයක්ම වෙන්නේ හොඳට කියා සිතා ගෙන අපේ සම්පත් යොදා ගෙන ජය ගන්න අපිට පුළුවන් වෙනවා. අපි බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා.

මහින්ද අලුත්ගෙදර

ඡායාරූප - වාසිත පටබැඳිගේ

නව අදහස දක්වන්න