කාර්මික විශිෂ්ටත්වය උදෙසා CNCI Achiever Awards | දිනමිණ

කාර්මික විශිෂ්ටත්වය උදෙසා CNCI Achiever Awards

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාර්මික වාණිජ මණ්ඩලය වන ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරන ලද කාර්මික විශිෂ්ටත්වය උදෙසා අඛණ්ඩව 20 වැනි වරටත් පවත්වන ලද ‘CNCI Achiever Awards 2021’ සම්මාන උළෙල, 2022 ජනවාරි 12 වන දින ගලධාරී හෝටලයේ, ග්‍රෑන්ඩ් බෝල්රූම්හි දී පැවැත්විණි.

මෙම උත්සවය වාර්ෂිකව පවත්වනු ලබන්නේ ශ්‍රී ලාංකීය කර්මාන්තකරුවන්, ඔවුන්ගේ කාර්ය සාධන විශිෂ්ටත්වය සඳහා ඇගයීමට සහ ත්‍යාග පිරිනැමීමටයි. මෙවර එය කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් පැවැත්වුණු අතර, ගරු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රධාන ආරාධිතයින් ලෙස සහභාගි විය.

වත්මන් තත්ත්වය යටතේ අත්‍යවශ්‍ය නොවන නිෂ්පාදන ආනයනය කිරීමට සීමිත ඉඩකඩක් පවතින බැවින් දේශීය කර්මාන්ත සඳහා වෙළඳපළ කොටස් ලබාගැනීමට ප්‍රමාණවත් ඉඩකඩක් පවතින බව මෙම උත්සව සභාව අමතමින් අමාත්‍ය වීරවංශ මහතා සඳහන් කළේ ය. වෙළඳපළ කොටස් ලබාගැනීමට අපේක්ෂා කරන ඕනෑම දේශීය නිෂ්පාදකයකුට වත්මන් රජය අවශ්‍ය ඕනෑම අනුග්‍රහයන් ලබාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටි අතර Covid 19 වසංගතය හේතුවෙන් බොහෝ කර්මාන්ත විනාශවීමට ආසන්න වූ බවත් වසංගතය තුළ දරුණුතම කාල පරිච්ඡේදවලින් බොහෝ ව්‍යාපාරවලට නැඟීසිටීමට ඉඩ සලසන විවිධ සහන සහ උපකාර ලබාදීමට රජය පියවරගත් බව අමාත්‍යවරයා සිහිපත් කළේ ය. වසංගතයේ නරකම කාල පරිච්ඡේදය දැන් ගෙවී ගොස් ඇති බැවින්, ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ ස්ථීර මාවතක ගමන් කරන බව ද වීරවංශ මහතා මෙහි දී වැඩිදුරටත් පැවැසී ය.

‘CNCI Achiever Awards 2021’ සම්මාන උළෙල සඳහා DFCC බැංකුව, ප්‍රධාන අනුග්‍රාහකත්වය සහ නිල බැංකු හවුල්කරු ලෙස කටයුතු කළ අතර, ලංකා බැංකුව එහි සම අනුග්‍රාහකත්වය හෙබවීය.

සීමාසහිත ලංකාවේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහක ලබාදුන් අතර, ස්වාධීන රූපවාහිනී ජාලය (ITN) ඉලෙක්ට්‍රොනික මාධ්‍ය අනුග්‍රහකයා විය. සෙලින්කෝ රක්ෂණ සමාගම සහ CBL සමූහය උත්සව අනුග්‍රහකත්වය දැරීය. මෙම උත්සවයේ සම්මාන සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙනු ලැබූයේ කොමර්ෂල් බැංකුව‍ විසිනි.

පුළුල් ඇගයීම් ක්‍රියාවලියක් මගින් මෙහිදී සම්මානලාභීන් තෝරාගනු ලැබු අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් බාහිර විනිසුරු මඩුල්ල විසින් අවසන් ඇගයීම් කටයුතු සිදුකරන ලදී.

මෙම සුවිශේෂ සම්මාන උළෙලේ දී විශේෂ සම්මාන ලබමින් ඇගයීමට ලක් වූ 2021 වසරේ අති විශාල නිෂ්පාදන/සේවා කාණ්ඩයේ හොඳම සමාගම් දහය මෙසේ ය.

(01) මොඩර්න් පැක් ලංකා (පුද්.) සමාගම (02) ෆාම් කෙමී (පුද්.) සමාගම (03) ලීමා ක්‍රියේෂන්ස් පුද්ගලික සමාගම (04) ටෙක්ස්ට්‍රිප් (පුද්.) සමාගම (05) ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් පීඑල්සී (06) ෆ්‍රීලන් එන්ටප්‍රයිසස් (පුද්.) සමාගම (07) HNB ඇෂුවරන්ස් පීඑල්සී (08) සැම්සන් මැනුෆැක්චර්ස් (පුද්.) සමාගම

(09) ඇමරිකන් එඩියුකේෂන් සෙන්ටර් ලිමිටඩ් (10) සැම්සන් බයික්ස් (පුද්.) සමාගම

දිනේෂ් පෙරේරා

නව අදහස දක්වන්න