මහවැලි ගඟෙහි ඉදි කර තිබු හෝටලයක් වහාම රජයට පවරා ගැනීමට පරිසර ඇමතිගෙන් උපදෙස් | දිනමිණ

මහවැලි ගඟෙහි ඉදි කර තිබු හෝටලයක් වහාම රජයට පවරා ගැනීමට පරිසර ඇමතිගෙන් උපදෙස්

මහනුවර මහවැලි ගඟට අයත් රක්ෂිත කළාපය වහාම සළකුණු කිරීමට හා මහවැලි ගඟෙහි ඉදි කර තිබු හෝටලයක් වහාම රජයට පවරා ගැනීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දෙයි.
 
මහනුවර නගරය අසළින් ගලා බසින මහවැලි ගඟ ආශ්‍රිතව සිදුවන පාරිසරික විනාශය නිරීක්ෂණය කිරීම සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගිය සෙනසුරාදා(22) ගැටඹේ, පේරාදෙනිය ඇතුළු ස්ථාන කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 
 
එම නිරීක්ෂණ චාරිකාවට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා මෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය, මහවැලි අධිකාරිය, මහනුවර නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මෙන්ම පරිසර අමාත්‍යාංශයේ නිලධාරින් ද සහභාගි වූහ.
 
එහි දී සිවිල් සංවිධාන, මහජනතාව, පරිසරවේදීන් හා මාධ්‍යවේදීන් ද මහවැලි ගඟ ආශ්‍රිතව අනවසරයෙන් ඉදිර කර ඇති  හෝටල්, නිවාස, සංචාරක නිකේතන මෙන්ම විවිධ පුද්ගලයින් විසින් ගංගා රක්ෂිතය අත්පත් කර ගැනීම් සම්බන්ධව ද අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළේය.
 
අනතුරුව දොඩම්වල පාළම අසළින් නිරීක්ෂණ චාරිකාව ඇරඹූ අතර එහිදී අනවසරයෙන් ඉදි කර තිබු ව්‍යාපාරික ආයතන මෙන්ම නීති විරෝධී ලෙස ගංගා රක්ෂිතය අත්පත් කර ගැනීමට කටයුතු කර තිබු අවස්ථාවන් ද අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම නිරීක්ෂණය කළේය.
 
එමෙන්ම මහවැලි ගඟෙහි රක්ෂිතය කළාපය ලෙස සඳහන් කර තිබු නාම පුවරුව අසළම පිහිටි හක්කිඳ දූපත් සමූහය අසළ මහවැලි ගඟෙහි ඇතුළට වන්නට ඉදිකර තිබු හෝටලයක් ද අමාත්‍යවරයා විසින් නිරීක්ෂණය කළේය. එම හෝටලය ඉදි කිරීම සඳහා කිසිදු වගකිව යුතු ආයතනයක් විසින්  අනුමැතිය ලබා නොතිබුනි. මුදල් හා දේශපාලන බලය යොදා ගනිමින් මහවැලි ගඟ දූෂණයට ලක්වන පරිදි එක්තරා පුද්ගලයෙක් එම හෝටලය ඉදි කර තිබුනි. එමෙන්ම ඔහුගේ පවුළට පදිංචිවීම සඳහා ද ඒ වනවිටත් නිවස ඉදි කිරීම් කටයුතු ද මහවැලි ගඟ තුළ ඉඩම ගොඩකර ඉදි කරමින් තිබිනි. 
 
එමෙන්ම ඒ අවට පිහිටි දැවැන්ත කුඹුක් ගස් කපා ඒවා කැබලි කර හෝටලයට පැමිණෙන පාරිභොගිකයින්ට වාඩි වීම සඳහා සකස් කර තිබු ආකාරය ද නිරීක්ෂණය කළේය. මෙම හෝටලය ඉදි කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, නගර සභාව හෝ වෙනත් කිසිදු ආයතනයක් විසින් අනුමැතිය ලබා දී නැති බව සනාථ කර ගන්නා ලදී.
 
ඒ අනුව වහාම එම හෝටලය රජයට පවරා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්ත දිසානායක මහතාට උපදෙස් දුන්නේය. එමෙන්ම මහනුවර නගර සීමාව අසළින් ගලා බසින මහවැලි ගඟෙහි රක්ෂිත කළාපය වහාම සළකුණු කරන ලෙසත්, නීති විරෝධී ලෙස ගංගා රක්ෂිතය අත්පත් කර ගැනීමට කටයුතු කර ඇති පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමටත් පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා සියලු ආයතනවලට උපදෙස් දුන්නේය.
 
මෙම නීති විරෝධී ලෙස ඉදි කර ඇති හෝටලය රජයට පවරාගෙන එය පරිසර අධ්‍යයනය සඳහා සුදුසු පරිසර අධ්‍යාපනික කේන්ද්‍රයක් බවටත් පත් කිරීමට ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.
 

නව අදහස දක්වන්න