තෙල් ණය ‍ගෙවීමට විදුලියට කෝටි 9,300ක් ජනපති නියෝග කරයි | දිනමිණ

තෙල් ණය ‍ගෙවීමට විදුලියට කෝටි 9,300ක් ජනපති නියෝග කරයි

විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති රුපියල් බිලියන 93ක (කෝටි 9300) ණය ගෙවීම සඳහා මුදල් නිදහස් කරන්නැයි ජනාධිපතිවරයා මහා භාණ්ඩාගාරයට උපදෙස් දුන් බව ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඉන්ධන නැව් දෙකකට ඩොලර් ගෙවීමට රජය තීරණය කර ඇතැයි ද ඇමැතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ ඊයේ (24) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය. මුහුද මැද තිබූ තිබුණු ඩීසල් නැව අද අපට බාර දුන්නොත් අපි ඩීසල් සහ දැවි තෙල්වලින් දෙකෙන්ම විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන් වෙස්කොස් විදුලිබලාගාරයට දැවි තෙල් වෙනුවට ඩීසල් දී , සපුගස්කන්දේ දැනට නතර කර තිබෙන දැවි තෙල් විදුලි බලාගාරයට දැවි තෙල් ලබා දීමට අප එකඟතාව පළ කළා. මහ බැංකු අධිපතිතුමාට වහාම මේ ඩීසල් නැව නිදහස් කර දෙන්න කියා උපදෙස් දුන්නා. ඒ අනුව ඔවුන් ඉල්ලා සිටි ඩීසල් සහ දැවි තෙල් ප්‍රමාණය දෙන්න කටයුතු කරනවා.

දැනට රුපියල් බිලියන 93ක් විදුලිබල ක්ෂේත්‍රයෙන් අයවිය යුතු බව අප පෙන්වා දුන්නා. එවිට ජනාධිපතිතුමා ණය ගෙවන්න විදුලි බල මණ්ඩලයට අවශ්‍ය මුදල් නිදහස් කරන්න භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා. ඉදිරියේදී විදුලිබල මණ්ඩලයට ඉන්දියානු ණය පහසුකම සමඟ ඔවුන්ට අවශ්‍ය කරන ඩීසල් සහ දැවි තෙල් සෘජුව ලබා ගැනීමටත් අපේ එකඟතාව ලබා දුන්නා. මුදල් ඇමැතිතුමා මේ වන විට ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් ඉන්දියාවෙන් ණය පහසුකමක් ලබා ගන්න සාකච්ඡා කරනවා. ඔවුන්ට සෘජුව දැවි තෙල් සහ ඩීසල් ආනයනය කිරීමට එකඟතාව අප ලබා දුන්නා. දැනට මුහුද මැද තිබෙන නැව් දෙකට අවශ්‍ය කරන ඩොලර් දීමට මහ බැංකුවේ අධිපතිතුමා එකඟතාව පළ කළා යැයි ගම්මන්පිල මහතා පැවසීය.

ක්‍රිසන්ති විතාරණ

නව අදහස දක්වන්න