ද/ආසියාවේ දැවැන්තම පාපන්දු පිටිය කොළඹ වරාය නගරය මැද | දිනමිණ

ද/ආසියාවේ දැවැන්තම පාපන්දු පිටිය කොළඹ වරාය නගරය මැද

ප්‍රින්ස් ගුණසේකර
ප්‍රින්ස් ගුණසේකර

කොළඹ වරාය නගරය තුළ දකුණු ආසියාවේ දැවැන්තම පාපන්දු ක්‍රීඩා සංකීර්ණය ඉදි කිරීමට සූදානම් වෙයි. මේ සඳහා අවශ්‍ය ඉඩම වෙන් කරවා දීමට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් මහතා පැවසීය. ඉතා ඉක්මනින් කොළඹ වරාය නගරය තුළ පිහිටි ඉඩම ගැනීමත් සමඟ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කළ හැකි බව සභාපතිවරයා පැවසීය.

අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ සභාපති ගිහානී ඉන්ෆැන්ටිනෝ මහතා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ මෙරට අංග සම්පූර්ණ ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට ආධාර දෙන බවට එකඟතාව දක්වා ඇති හෙයින් කොළඹ වරාය නගරය තුළ පාපන්දු ක්‍රීඩාංගණය ඉදි කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වී ඇතැයි උමර් මහතා පැවසීය. අන්තර්ජාතික පාපන්දු ක්‍රීඩාංගණයක අවශ්‍යතාව තදින් දැනී ඇති හෙයින් ක්‍රීඩා ඇමැතිවරයා මෙවැනි සහයෝගයක් දීම සම්බන්ධයෙන් පාපන්දු පවුලේ විශේෂ ස්තූතිය ඇමැතිවරයා වෙත පිරිනමන බවද සඳහන් කළේය. මෙමඟින් ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියාවේම දැඩි අවධානයට ලක් වනු ඇතැයි විශ්වාසය වී තිබේ.

මෙයට අමතරව දියගම ක්‍රීඩා සංකීර්ණය තුළ පාපන්දු පුහුණු මධ්‍යස්ථානයකට අවශ්‍ය ඉඩමක් දීමට ද රජය කටයුතු කර ඇත. බෙලිඅත්ත මහජන ක්‍රීඩාංගණයද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය වෙත දීමට ද ක්‍රීඩා ඇමැතිවරයා කැමැත්ත පළ කොට ඇත. නැඟෙනහිර පළාත කේන්ද්‍ර කොට පාපන්දු ක්‍රීඩා සංකීර්ණයක් ඉදිකිරීමට ද අවශ්‍ය ඉඩමක් දීමට ක්‍රීඩා ඇමැතිවරයා කටයුතු යොදා ඇතැයි පාපන්දු සභාපතිවරයා පැවසීය.

නව අදහස දක්වන්න