බඩඉරිඟු ව්‍යාපෘතියෙන් පාකිස්තානයට ජල අර්බුදයක් | දිනමිණ

බඩඉරිඟු ව්‍යාපෘතියෙන් පාකිස්තානයට ජල අර්බුදයක්

චීනය හා පාකිස්තානය අතර ආර්ථික කොරිඩෝවේ අතිශය වැදගත් හා තීරණාත්මක කරුණු ගණනාවක් පිළිබඳ පසුගියදා දෙරටේ පුවත්පත් අනාවරණය කර ඇතැයි වාර්තා වේ. මේ වන විට දැඩි දේශපාලන ව්‍යාකූලත්වයට පත්ව ඇති පාකිස්තානයේ උද්ධමනය තව දුරටත් ඉහළ යෑමට එම ආර්ථික කොරිඩෝව හේතු වනු ඇතැයි පාකිස්තානයේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

දිනෙන් දින ඉහළ නගින පාකිස්තානයේ ආර්ථික අර්බුදය තුළින් සිය අරමුණු ඉටු කරගැනීමේ පටු චේතනාවෙන් චීනය පසුවන බවත්, ව්‍යාපෘති සඳහා සිදු කළ ආයෝජන සම්බන්ධව හා සපයා ඇති ණය ආපසු ලබා ගැනීමට දුන් කාලසීමාව දීර්ඝ නොකිරීමටත් චීනය පියවර ගෙන ඇතැයි තවත් වාර්තාවකින් අනාවරණය වී තිබේ.

පාකිස්තානයේ දැනට වගා කරනු ලබන ජානමය වශයෙන් වෙනස් කරනු ලැබූ බඩඉරිඟු ව්‍යාපෘතිය සම්බන්ධව පාකිස්තානයේ ‘ට්‍රිබියුන්‘ පුවත්පත රජය දැඩි විවේචනයට ලක් කර ඇතැයි ද, චීනයට අපනයනය කිරීම සඳහා වගා කරනු ලබන මේ බඩඉරිඟු ප්‍රභේදය පාකිස්තාන භූමියේ පසට හානිකර බවට එරට පරිසරවේදින් චෝදනා කර ඇත.

ගිම්හාන භෝගයක් ලෙස සැලකෙන බඩඉරිඟු මහ පරිමාණයෙන් වගා කිරීම හේතුවෙන් පසෙහි ඇති ජලය භෝග සඳහා උරා ගැනීමේ ප්‍රවණතාවක් ද පවතින බවත්, එය ජල උල්පත් සිඳී යෑමට හේතු වනු ඇති බවත් පරිසරවේදින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

නව අදහස දක්වන්න