චීන ආයුධ අපනයනය පහත වැටෙයි | දිනමිණ

චීන ආයුධ අපනයනය පහත වැටෙයි

ලොව විශාලතම සිව්වැනි හමුදා උපකරණ අපනයනය කරන රට වන චීනයට රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් අපනයන අර්බුදයකට මුහුණ පෑමට සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. රුසියා - යුක්රේන යුද අරගලය හේතුවෙන් බොහෝ රටවල් රුසියාවෙන් මෙන්ම එහි මිත්‍ර රටවලින් හමුදා උපකරණ ආනයනය කිරීම වෙනුවට බොහෝ ආයුධ සිය රට තුළම නිපදවීමට පියවර ගැනීම ඊට හේතුවය.

හමුදා උපකරණ හා අවිආයුධ සම්බන්ධව ස්ටොක්හෝම් අන්තර්ජාතික සාම නිරීක්ෂණ ආයතනය වාර්ෂිකව නිකුත් කරන දත්ත වාර්තාවට අනුව වසර 2017 සිට 2021 දක්වා ගෝලීය වශයෙන් හමුදා උපකරණ 4.6%ක ප්‍රමාණයක් අපනයනය කරනු ලැබූ චීනයේ ආයුධ අපනයනය සැලකිය යුතු ප්‍රමාණයකින් පහත වැටී ඇතැයි වාර්තා වේ.

චීනය අවිආයුධ හා හමුදා උපකරණ අපනයනයෙන් අමෙරිකාව, රුසියාව සහ ප්‍රංසයට පසුව ලොව විශාලතම ආයුධ අපනයනයකරු වන අතර, ජර්මනිය, ඉතාලිය සහ බ්‍රිතාන්‍යය වැනි ප්‍රබල රටවලට වඩා ඉදිරියෙන් සිටී. චීනය අපනයනය කරන ආයුධ හා හමුදා උපකරණ ප්‍රමාණයෙන් 47%ක්ම පාකිස්තානය මිල දී ගන්නා අතර, චීනයේ ඊළඟ විශාලතම ගැනුම්කරුවන් වන්නේ බංග්ලාදේශය සහ තායිලන්තයයි. එම රටවල් පිළිවෙළින් චීන ආයුධ හා හමුදා උපකරණ අපනයනයෙන් 16%ක් සහ 5%ක් මිල දී ගනී.

නව අදහස දක්වන්න