දශක හතරකට පෙර මර්දනයෙන් තළා දැමූ වර්ජනය | දිනමිණ

දශක හතරකට පෙර මර්දනයෙන් තළා දැමූ වර්ජනය

වර්ජනය තර්ජනයක් වන්නේ හිතුවක්කාර පාලකයන්ටය. කම්කරු අයිතීන් නොතකන පාලකයනටය. එහෙත් බලය නොමැති කළ බොහෝ පක්ෂ මෙන්ම දේශපාලනඥයන් ද කතා කරන්නේ කම්කරු අයිතීන් ගැනය‍. වැඩ කරන මිනිසුන් ගැනය. එහෙත් බලය ලැබුණු විට මේ සියල්ල වෙනස් වන්නේ හිරු දුටු පිනි මෙනි.

1977 වන විට ඇතිව තිබූ ආර්ථික අපහසුතා සහ සමඟි පෙරමුණු විරෝධය නිසා එජාපය සිටියේ ආණ්ඩු බලය පහසුවෙන් අත්පත් කර ගන්නා තැනකය. ඒ වන විට අවුරුදු තිහක් පුරා තිබූ සාම්ප්‍රදායික එජාපය විශාල වෙනසකට පත්ව තිබුණි. ජයවර්ධන මහතා සමඟ පීඩිත පන්තිය නියෝජනය කළ ආර්. ප්‍රේමදාස මහතා සහ තරුණ නායකයන් රැසක් එක්ව සිටියහ. එදා එජාපය සඳහන් කළේ තමන් ප්‍රජාතන්ත්‍රවාදය රජයන ධර්මිෂ්ඨ පාලනයක් ඇති කරන බවය. 1971 මර්දනය, වීරසූරිය ඝාතනය, මනම්පේරි ඝාතනය නිසා එවක තිබූ බණ්ඩාරනායක මහත්මියගේ පාලනය ගැන ජනතාව අතර තිබූ ප්‍රසාදය තිබුණේ පහළ අඩියකය. ඒ තත්ත්වය තුළ ජනතාව අලුත් එජාප පාලනයක් ගැන බලාපොරොත්තු තැබීය. සිතු ආකාරයෙන්ම එජාපය රටපුරා විශාල ජයක් අත්කර ගත්තේ පාලක පක්ෂය ආසන අටකට කොටු කරමිනි‍. එහෙත් එජාපය බලයට පත් වූයේම භීෂණයක් සමඟිනි.

දේශපාලන ප්‍රතිවාදීන්ට සහ ඔවුනගේ දේපළවලට පහර දුන්නේ රට තුළ අරාජික තත්ත්වයක් ඇති කරමිනි. ඒ සමඟම ධර්මිෂ්ඨ සහ ප්‍රජාතන්ත්‍රවාදී බලාපොරොත්තු සිහිනයක් බවට පත්විය හැකි බව මැදහත් කණ්ඩායම් වටහා ගත්හ. එතැන් සිට සමාජය තුළ සහ වැඩකරන ජනතාව තුළ අසහනකාරී වාතාවරණයක් ඇතිවීමට එතරම් කාලයක් ගියේ නැත. 1980 වන විට එජාප ආණ්ඩුවේ හයෙන් පහක මහ බලය රට තුළ වේගයෙන් සේදී ගියේ ජනතාව අරගලකාරී මාවතකට තල්ලු කරමිනි. තැනින් තැන වැඩබ්ම්වල මතුව ආ අරගලය ජාතික වැඩවර්ජනයක් බවට පත් වූයේ 1980 වර්ෂයේ මැද කාලයේදීය. මේ මහා වර්ජනයට පැරණි වමේ පක්ෂ සහ ශ්‍රීලනිපය ක්‍රියාකාරීව සහාය පළ කිරීමත් සමඟ එවක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා තේරුම් ගත්තේ මේ හුදු වර්ජනයක් නොව ආණ්ඩුව පෙරළීම සඳහා වූ වැඩපිළිවෙළක් බවය.

ඒ ආකාරයට රටපුරා මහජන විරෝධය ගොඩ නැඟුණ ද හයෙන් පහක බලයක් සහිතව සිටි එජාප ආණ්ඩුවට එය නොදැනුණි. එහෙත් ඒ වන විට ආර්ථික පීඩනය වැඩකරන පන්තියට දැනෙමින් තිබුණි. වැඩ කරන මිනිසුනට ආණ්ඩුව පෙරළා දැමීමට හෝ ජේ. ආර්. ජයවර්ධන මහතා ගෙදර යැවීමට ඕනෑකමක් නොතිබුණි. ඔවුන් ඉල්ලා සිටියේ මූලික වැටුපට දිනකට රුපියල් දහයක් එක් කරන ලෙස සහ ජීවනාධාර දීමනාවට දිනකට රුපියල් පහක් එකතු කරන ලෙසය. බැලූ බැල්මටම මෙය සාධාරණ ඉල්ලීමකි.

එහෙත් මේ සාධාරණ ඉල්ලීමට එරෙහිව කැත්තට පොල්ල මෙන් සිටියේ අගමැති ප්‍රේමදාස මහතාය. ලලිත් ඇතුලත්මුදලි මහතා ද වර්ජකයනට එරෙහිව විශාල විරෝධයක් එල්ල කළේය.

ජාතික වර්ජනය සම්බන්ධව සේවක සංගම් මහ සමුළුවක් මාර්තු මාසයේ අට සහ නවය දිනවලදී කොළඹ දී පවත්වන ලදී. එහිදී වර්ජනය සම්බන්ධ අවසන් තීන්දු සහ තීරණ ගනු ලැබීය.

වර්ජනයට පෙර වරුවක වර්ජනයකට සියලු පාර්ශ්ව එකඟව සිටියහ. ඒ සඳහා දිනය වූයේ ජූනි මස පස්වන දිනයයි. ඒ ආශ්‍රිතව ආණ්ඩුවේ නිල නොවන මැර කල්ලි ක්‍රියාත්මකව සිටියහ. එහි ප්‍රතිඵලය වූයේ සමිති ක්‍රියාකාරිකයකු වූ සෝමපාල සහෝදරයා ඝාතනය කිරීමය. ජූනි පස්වැනි දිනය එජාපයට සම්බන්ධ ජාතික සේවක සංගමය විසින් රාජ්‍ය සහයෝගිතා දිනයක් බවට පත්කර තිබිණි. ඔවුන් උත්සාහ කළේ වර්ජනය කඩාකප්පල් කිරීම සහ සේවක සංගම් අතර අසමඟිය වර්ධනය කිරීමය. මෙම වර්ජනය ආණ්ඩුව පෙරළීම සඳහා සිදුකළ එකක් නොවීය. එහෙත් ආණ්ඩුව වර්ජකයන් සලකන ලද්දේ ආණ්ඩු විරෝධී කුමන්ත්‍රණකරුවන් ලෙසිනි. එයට තවත් ප්‍රබල හේතුවක් වූයේ පුද්ගලික අංශයේ සේවකයන් ද මේ මහා වර්ජනය සඳහා එක්වීමට තීරණය කිරීමය. එනිසා සේවක හාම්පුතුන් ද ආණ්ඩුවට සහය ලබා දෙන පිළිවෙතක් අනුගමනය කළේය.

මේ සියලු මෙල්ල කිරීම්, බාධා කිරීම් සහ මර්දනය නිසා වර්ජන දිනය ඉක්මන් විය. ජූලි 17 සහ 18 දිනවලට වර්ජනයේ දින නියම විය. වමේ සමිති සමඟ ශ්‍රීලනිපයට සම්බන්ධ සමිති ද වර්ජනයට සම්බන්ධ වූ අතර, බාලා තම්පෝගේ සී. එම්. යූ. සමිතිය සහ ස්වාධීන සංගමයක් වූ ලංකා බැංකු සංගමය ද වර්ජනයට සහය පළ නොකළ අතර ආණ්ඩුවේ ජාතික සේවක සංගමය ද වර්ජනයට එක් නොවුණි.

දෙදිනක් පුරා පැවැති මහා වර්ජනයට එක්වන පිරිස් සේවය අතැර ගියා සේ සලකන බවට අනතුරු හැඟවීම් මුල සිටම සිදු කෙරිණි. වර්ජකයන් සමඟ කිසිදු සාකච්ඡාවකට ආණ්ඩුව කැමැත්තක් නොදැක්වූ අතර, ඔවුන්ගේ එකම අවිය වූයේ වර්ජනය යකඩ සපත්තුවෙන් තළා දැමීමය. ඔවුන්ගේ ඒ තීරණය ඒ අයුරින් ක්‍රියාත්මක වු අතර, වර්ජකයනට කිසිදු ඉල්ලීමක් දිනා ගැනීමට නොහැකි වූ අතර, අසූදහස ඉක්මවූ සේවක පිරිසකට රැකියා අහිමි විය. ඔවුනට එල්ල වූ චෝදනා වූයේ රජයේ නියෝගය නොතකා වර්ජනය කිරීමය. ප්‍රජාතන්ත්‍රවාදය අනුව වර්ජනය සහ විරෝධය පෑම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වුව ද ඒ මූලික ප්‍රජාතන්ත්‍රවාදය හෝ අනුගමනය කරන්නට එවක තිබූ ආණ්ඩුව කටයුතු නොක‍ෙළ්ය. එවන් අකටයුත්තක් ඒ වන විට ලෝකයේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදුව නොතිබුණි. එහෙත් ඉන්පසු දිගින් දිගටම රට තුළ ඇති වූ අර්බුදවල මූලාරම්භයක් ලෙස 80 වර්ජනය සඳහන් කළ හැකිය. ඉන්පසු 1988 වසර තෙක් ජයවර්ධන මහතා ආණ්ඩුව පවත්වාගෙන ගිය ද ඒ කාලයම අර්බුදවලින් ගහන වූ කාලයකි.

මෙම මර්දනයෙන් පසු නැවත වාසු, වික්‍රමබාහු, මවුලානා, ගුණසේකර, මහානාම ඇතුළු කම්කරු නායකයන් සිය විරෝධය ජනාධිපතිවරයා වෙත දැක්වීමට සංදේශයක් රැගෙන ගිය ද කොටුව ආසන්නයේදී එයට පොලිසියෙන් බලවත් ලෙස බාධා එල්ල විය. බැටන් ප්‍රහාර එල්ල වීමත් සමග පිරිස විසිර ගිය අතර කම්කරු නායකයන් රැසක් අත් අඩංගුවට පත්විය. හයිඩ් පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධයට ද එල්ල වූයේ බාධා කිරීම්ය.

මෙරට වමේ පක්ෂයක් වූ ජවිපෙ සහ බාලා තම්පෝගේ සී. එම්. යූ. සමිතිය සහ තවත් ස්වාධීන සමිති මේ අරගලයට එක් නොවීම මේ වර්ජනය බාල වීමට එක් හේතුවකි. එමෙන්ම එවැනි ආකාරයේ මහා වර්ජන නැවත ඇතිවීම දුර්වල වීමට ද මේ මර්දනය ප්‍රබල හේතුවක් විය.

වර්ජනය මර්දනයෙන් පරාජය කිරීමත් සමඟ රැකියා අහිමි වූ අසූහය දහසෙන් හතළිස් දහසකට නැවත කොන්දේසි මත රැකියා හිමි වූ අතර, තවත් හතළිස් දහසකට වැඩි පිරිසකට එම රැකියා සදහටම අහිමි විය. පසුව ඔවුන් නෙරපීමෙන් ඇතිවුණු පුරප්පාඩු සඳහා ආණ්ඩු හිතෛෂීන් පත් කළ බව කියවුණි. මේ වර්ජනය නිසා රැකියා අහිමි වූ සමහරු සියදිවි නසා ගැනීමට පවා පෙලඹුණි. 1994 තෙක් පැවැති එජාප ආණ්ඩුවෙන් කිසිදු විසඳුමක් නොලැබුණි.

1994 මහ මැතිවරණයේදී පොදුජන එක්සත් පෙරමුණ ජයග්‍රහණය කරවීම සඳහා ජූලි වර්ජකයන්ගේ සංගමය කටයුතු කළ අතර, 1994 අලුත් ආණ්ඩුවේ නායකයන් බවට ජූලි වර්ජනය මෙහෙය වූ කම්කරු නායකයන් පත්ව සිටිය ද වර්ජකයනට පිළිගත හැකි සහනයක් නොලැබුණි.

අද වන විට 1980 ජූලි වර්ජනයට අවුරුදු 41කට කිට්ටුය. වර්ජකයන් බොහෝ දෙනකු මෙලොව හැර ගොස්ය. සෙසු අය ඉතාමත් වියපත් ය. එදා සිටි එජාප නායකයන් ද නැත. එජාපයට ඉතිරිව ඇත්තේ එක ආසනයකි. ජූලි වර්ජනයේ සෝකඳුළු සහ සුසුම් කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් ය. එහෙත් එදා ඇති කළ කළු පැල්ලම දේශපාලන වංශකතාවේ නොමැකෙන ලෙස සඳහන්ව තිබේ.

 උදිත ගුණවර්ධන

 

නව අදහස දක්වන්න