ඡන්ද නිරීක්ෂණයේ යෙදුණු මහ කොමසාරිස් ප්‍රේමදාස අණින් යළි බ්‍රිතාන්‍යයට | දිනමිණ

ඡන්ද නිරීක්ෂණයේ යෙදුණු මහ කොමසාරිස් ප්‍රේමදාස අණින් යළි බ්‍රිතාන්‍යයට

වර්ෂ 1987 – 1991 කාලය තුළ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධුරය දැරූවේ ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතාය. ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට මසකට පෙර එනම් 1987 වසරේ ජූනි මාසයේදී ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා මෙරටට පැමිණියේය. 1991 වසරේදී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට අනවසරයෙන් අත පෙවීම යන චෝදනාව ඔහුට එල්ල කළ එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ කෝපයට මුහුණ දෙන්නට ඔහුට සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ ගරු සරුකම් පසෙක තබා ඔහු නෙරපා හැරීමය.

මේ පිළිබඳව එවකට ශ්‍රී ලංකාවේ පුවත්පත්වල පමණක් නොව ලොව පුරාම පුවත්පත්වල වාර්තා පළ විය. එම අවස්ථාවේදී ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා කිසිවක් කතා නොකළ ද, පසුව ශ්‍රී ලංකාවේ සේවය කරන කාලයේ ලද අත්දැකීම් පදනම් කර ගනිමින් A Srilankan Tempest නම් කෘතිය රචනා කර තම හඬ අවදි කළේය.

1946 පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනත ප්‍රකාරව 1991 වසරේ මැයි මස 11 දින පළාත් පාලන ආයතන 237ක මැතිවරණ නිසි පරිදි පැවැත්විණි. මෙම මැතිවරණය නිදහස්ව හා සාධාරණ ලෙස පැවැත්වීම ජනාධිපති ප්‍රේමදාස මහතාගේ අරමුණ විය.

ඒ අනුව මැතිවරණ කටයුතු නිරීක්ෂණය කිරීමට අන්තර්ජාතික නිරීක්ෂකයන්ට භාර දීමට තීන්දු කරන ලද අතර, ඒ සම්බන්ධයෙන් තානාපතිවරු පිරිසක් යෙදවීමට ද තීරණය විය.

ඒ අනුව දකුණු පළාතේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සිදු කිරීමට බාර වූයේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධූරය දැරූ ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතාටය. ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා ඡන්ද දිනයේ මාතරින් නික්මී දික්වැල්ලේ ඡන්ද මධ්‍යස්ථානයකට ගොස් ඇති අතර, එහිදී ඔහුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ කණ්ඩායමක් හමුවී ඇත. එහිදී එක්සත් ජාතික පක්ෂයේ මැරයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පිරිසට ඡන්ද මධ්‍යස්ථානය වෙත එන්නට නොදී තර්ජනය කරන බව ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා වෙත පවසා ඇත.

එම අවස්ථාවේදී ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා ඒ පිළිබඳව ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානියාගෙන් විමසා ඇති අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණයන්ගේ චෝදනාව ද පවසා ඇත.

ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානියා ඒ පිළිබඳව පොලිසියේ පැමිණිල්ලක් කරන ලෙස ඉල්ලා සිටි නමුත් මුල් අවස්ථාවේදී ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා ඊට අකමැත්ත ප්‍රකාශ කොට ඇත. ඒ අනුව ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානියාට පවසා ඇත්තේ, තමන් මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන පුද්ගලයෙකු පමණක් බවත්, මැතිවරණ යන්ත්‍රණයට අයත් අයකු නොවන බවත්ය.

කෙසේ වුවද ඡන්ද මධ්‍යස්ථානයේ ප්‍රධානියා විසින් දිගින් දිගටම ඉල්ලීම් කරන ලද හෙයින් අකමැත්තෙන් වුවද පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් දැමීමට ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා එකඟ වී ඇත. පසුව පොලිස් ස්ථානයේ දී අදාළ වාර්තාව සටහන් කර ගැනීමෙන් පසුව ඊට එකඟව අත්සන් කර ඇත.

මෙම සිදුවීමෙන් තෙදිනකට පසුව රණසිංහ ප්‍රේමදාස මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බර්නාඩ් තිලකරත්න මහතා මාර්ගයෙන් ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතාට නියෝග කළේ, ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයකට මැදිහත් වූ බවට චෝදනා එල්ල වී ඇති බවත්, ඔහු රටින් පිට කරන ලෙසත්ය.

එම මැදිහත්වීම සියලු රාජ්‍ය තාන්ත්‍රිකමය මූලධර්ම උල්ලංඝනය කිරීමක් විය. මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් කැඳවීමක් සිදු නොකරන ලද අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධුරය දැරූ ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා ලන්ඩනය වෙත යැවීමට උත්සාහ දරන ලදි.

නමුත් එය අසාර්ථක වීම හේතුවෙන් විදේශ කටයුතු කාර්යාලයට පණිවිඩයක් ලැබිණි. ඉන් කියැවුණේ, බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධුරය දැරූ නියෝජිතවරයා තම රටින් පිටව යාමේ නියෝගය නිකුත් කර ඇති නිසා තමන් සතු සියලු දේ හකුළාගෙන යා යුතුය යන්නය. ඡන්දය නිරීක්ෂණය කිරීම, ඡන්ද විමසීම පිළිබඳ තම මතය ප්‍රකාශ කිරීම ආදිය සිදු කළේ බ්‍රිතාන්‍ය රජයේ නියෝගය පරිදි ද නැත හොත් තම පෞද්ගලික අවශ්‍යතාව නිසා දැයි ප්‍රේමදාස ජනාධිපතිවරයා විමසා ඇත.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සිදුකරන රටක තානාපති නිලධාරින් රටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට අයිතියක් තිබේ ද යන්න ද ජනාධිපතිවරයා විමසා ඇත. දිවයිනෙන් නික්ම යාම සඳහා දින 10 ක කාලයක් ද ශ්‍රී ලංකා රජයෙන් හිමිවුණි. ඒ අතර කාලයේ ශ්‍රී ලංකාවේ සිටි සියලුම තානාපතිවරුන් ජනාධිපති මන්දිරයට කැඳවූ ප්‍රේමදාස මහතා විශේෂ දේශනයක් පැවැත්වීය.

ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා ද එම දේශනයට සහභාගි වූයේය. එම දේශනයේදී ප්‍රේමදාස මහතා විශේෂයෙන් සඳහන් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවට නිදහස ලැබීමට පෙර සිටි ඇතැම් අධිරාජ්‍යවාදීන් සිතා සිටින්නේ, තවමත් අපි ඔවුනට යටත්ව සිටින බවය. එහෙම හිතනවා නම් ඒක වැරදි සිතිවිල්ලක් යන්නය.

නික්ම යාමට පෙර ගාමිණි දිසානායක මහතා හා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා මුණ ගැසීමට ආහ. 1991 වසරේ මැයි මාසයේ දිනක බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධූරය දැරූ ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා ලංකාවෙන් නික්ම ගියේය.

මේ අතර කාලයේදී ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා A Srilankan Tempest නම් කෘතිය රචනා කරන ලද අතර, එම කෘතිය මඟින් ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ධූරය දරන කාලයේ ලද අත්දැකීම් හෙළිදරව් කර ඇත. ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා නෙරපා හැරීමෙන් පසුව බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ප්‍රතිපාදන අහිමි කළද, පසුව ලන්ඩනය තාර්කික ලෙසින් වෙනස් වූ මඟක් ගනිමින් ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතා වර්ධනය කර ගත්තේය. මෙසේ ඩේවිඩ් ග්ලැඩ්ස්ටන් මහතා ලංකාවෙන් නෙරපා හැරීමෙන් පසුව ඔහු ලන්ඩන් විදේශ කාර්යාලයේ අනතුරුව යුක්‍රේනයේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය කර පසුව විශ්‍රාම ගියේය.

 

 එම්. තාරික්

නව අදහස දක්වන්න