තෙවැනි කාර්මික විප්ලවයක් ඇති වුව හොත්? | දිනමිණ

තෙවැනි කාර්මික විප්ලවයක් ඇති වුව හොත්?

කාර්මික විප්ලවයක් ඇති වීමට නම් තිබිය යුතු සාධක මොනවා ද? ඇත්තෙන්ම විප්ලවයක් යැයි මහා පරිමාණයෙන් පැවසුවද එය සැබවින්ම සරලය. වත්මන් තත්ත්ව යටතේ නවමු කාර්මික විප්ලවයක් උත්පාදනය කිරීමට නම් අපට අවශ්‍ය වන්නේ නව බලශක්ති සම්පතක්, නවීනත්වය හා මුසු වූ සන්නිවේදන ජාලයක්, හා නූතනත්වය හා අත්වැල් බැඳගත් නව ආරයේ ගමනාගමන පද්ධතියක් පමණි. දැනටමත් වර්තමාන ලෝකය මේ සාධක තුනම සම්පූර්ණ කර ඇති බැවින් ඇතැම් විද්වතුන් පෙන්වා දෙන්නේ අප දැනටමත් තෙවැනි කාර්මික විප්ලයකට අවතීර්ණව හෝ අවම වශයෙන් එවැන්නක සමීපයටම පැමිණ ඇති බවයි. ඇමරිකානු ආර්ථික විද්‍යාඥ හා න්‍යායාත්මක සමාජ විද්‍යාඥයකු වන ජෙරමි රිෆ්කින් යනු මෙම පෙරයීම සත්‍ය යැයි අදහන එවන් එක් විද්වතෙකි. ඇත්තෙන්ම එවැන්නක් ඔවුන් පවසන්නේ කවර හේතු නිසාද? මීට පෙර සිදු වූ කාර්මික විප්ලව දෙකක්ද, ඒවායෙන් ලෝකයට සිදුවූ බලපෑමද අපි අත්දැක ඇත්තෙමු. කාර්මික විප්ලවයක් සමඟ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් සිදු වනු ඇත්තේ අප ජීවත්වන සමස්ත ලෝකයම අති දැවැන්ත පෙරළියකට ලක් කරමිනි. තෙවැනි කාර්මික විප්ලවයකින් කවර සුවිසල් ප්‍රගමනයක් සිදු වනු ඇතිද? එවැන්නකට මුහුණ දි තවදුරටත් පැවතීමට තරම් මහා පරිමාණයේ සමාගම් සමත්වනු ඇති ද? කවර අන්දමේ තාක්ෂණ මාධ්‍ය තෙවැනි කාර්මික විප්ලවයකට පුරෝගාමී වනු ඇති ද?

 

පාරිසරික ගැටලු

රිෆ්කින් පෙන්වා දෙන්නේ අන්තර්ජාලයේ නැඟී සිටීමත්, සුනිත්‍ය බලශක්ති ප්‍රභවවල ආගමනයත්, ස්වයංක්‍රීය ගමනාගමන පද්ධතිවල කළඑළි බැසීමත් සමඟ මේ කියන තෙවැනි කාර්මික විප්ලවය දැනටමත් ඇරඹී ඇති බවයි. මෙම සාධක තුනේ සුසංයෝගයෙන් සිදුව ඇති පෙරළිය මිනිසා වැලඳගතහොත් එමඟින් මිහිපිට වන සෑම සියලු කර්මාන්තයක්ම විමධ්‍යගත කිරීමට හැකි වනු ඇති බවත්, ඉන් මිනිසා ඉතාම බලසම්පන්න කරනු ඇති බවයි ඔහුගේ විශ්වාසය වන්නේ. නමුත් මිනිසා ඉවක් බවක් නොමැතිව තාක්ෂණය භාවිතයට ගැනීම නිසා ලෝකය මුහුණ දී සිටින කාලගුණික විපර්යාස නමැති දැවැන්ත පාරිසරික ගැටලුවට මෙම තෙවැනි කාර්මික විප්ලවයෙන් කවර නම් සුගතියක් අත් වනු ඇති ද? කාලගුණික විපර්යාසය හෙවත් පාරිසරික උෂ්ණත්වය ශීඝ්‍රයෙන් ඉහළ යෑමට ප්‍රධානම හේතුව වන්නේ ඉවක් බවක් නොමැතිව සිදු කරන පොසිල ඉන්ධන දහනය බව අමුතුවෙන් කිව යුතු නැත. කාර්මික විප්ලවයක ඇරඹුමත් සමඟ මිනිසා සුනිත්‍ය හෙවත් පුනර්ජනනීය බලශක්ති භාවිතයට නැඹුරු වන්නේ නම් හරිතාගාර ආචරණය විශාල ප්‍රතිශතයකින් අඩු කර ගැනීමට බැරි නැත. අනෙක් අතට පොසිල ඉන්ධන වැනි සීමිත බලශක්ති ප්‍රභවයක් මත රඳා පවතින ආර්ථිකයක පැවැත්ම ස්ථිර නොවන බවද අමතක කළ නොහැකිය. ආර්ථික විද්‍යාඥ රිෆ්කින්ට අනුව මිනිසා වහාම කාබනික බලශක්තියෙන් බැහැරව පුනර්ජනනීය බලක්තියක් වෙත නැඹුරු නොවන්නේ නම් ආර්ථික පද්ධතිය සේම පෘථිවියේ අනාගතය ගැනද සුබවාදී බලාපොරොත්තුවක් ඉතිරි නොවනු ඇත. නමුත් වාසනාවකට මෙන් අප දැනටමත් පෘථිවිය අනාගත ව්‍යසනයකින් මුදා ගැනීමේ මහා ගලවා ගැනීමේ මෙහෙයුමට අවතීර්ණව ඇත්තෙමු. ඒ තෙවැනි කාර්මික විප්ලවයක පෙර නිමිති පහළවීමත් සමඟය.

 

තොරතුරු හුවමාරුව

මිනිසා කාබනික බලශක්තියෙන් බැහැරව ඇති බවටත්, තෙවැනි කාර්මික විප්ලවයක් ඇ‍රැඹී ඇති බවටත් හොඳම නිදසුනක් වන්නේ ලෝක ව්‍යාප්ත අන්තර්ජාලයේ වැලඳගැනීමයි. මේ වන විට අන්තර්ජාලය සමස්ත ලෝකයම සිය ග්‍රහණයට නතු කරගෙන ඇති අතර ඇතැම් අවස්තාවලදී මිනිසා එහි ගොදුරක් වන තරමට එහි බලපෑම ප්‍රබල වී තිබේ. නමුත් අන්තර්ජාලය නිසා තොරතුරු බෙදාහදා ගැනීමට අපට තවදුරටත් දැවැන්ත සමාගම් කිහිපයක හැකියාව මත රඳා පැවතීමේ අවශ්‍යතාවක් නැත. පුවත්පත් මුද්‍රණයට හෝ ඒවායේ තම අදහස් පළ කරගැනීමට හෝ අතීතයේදි දැරිය යුතු වියදම් හා සසඳන කළ අන්තර්ජාලය ඔස්සේ තොරතුරු බෙදාහදා ගැනීමට වැය වන මුදලත්, ශ්‍රමයත්, කාලයත් අවමය. එසේම එලෙස බෙදාගන්නා තොරතුරුවල පිටපත් අසීමිත සංඛ්‍යාවක් ලොව පුරා බෙදාහැරීමට ගතවන්නේද එක් නිමේෂයක් පමණක් වීමද එහි ඇති තවත් වාසියකි. එනම් අන්තර්ජාලය ඔස්සේ තොරතුරු හුවමාරුව ශුන්‍ය ආන්තික පිරිවැයක් සහිත වූවකි. එසේම එහි සමූහස්ත කාර්යක්ෂමතාවද බෙහෙවින් ඉහළය. එලෙස යම් භාණ්ඩයක හෝ සේවාවක සමුහස්ත කාර්යක්ෂමතාව ඉහළ යෑම යනු අපතේ යෑම අවම කරන්නකි. දෙවැනි කාර්මික විප්ලවයේදී කිසිදු රටකට සමූහස්ත කාර්යක්ෂමතාව 20%ට වඩා ඉහළ නංවාගත නොහැකි වුවද වර්තමානයේ අවතීර්ණව සිටින තෙවැනි කාර්මික විප්ලවයේදි එම අගය අබිබවා යෑමට හැකි බවයි ජෙරමි රිෆ්කින් පෙන්වා දෙන්නේ. එලෙස සමූහස්ත කාර්යක්ෂමතාව ඉහළ යෑම යනු පෘථිවි සම්පත් අවම ප්‍රමාණයක් භාවිතයෙන් වැඩිම ඵලදායකත්වයක් උපයා ගත හැකි වීමය. එලෙස ඵලදායකත්වය ඉහළ යෑමේදී ඔබේ පාරිසරික පියසටහන සේම ආන්තික පිරිවැයද ශුන්‍යත්වයට ළඟා වනවා ඇත. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ නව ආර්ථික පද්ධතියක් බිහිවීමයි.

 

ඩිජිටල් ලෝකය

තෙවැනි කාර්මික විප්ලවයේදි එලෙස බිහි වන නව ආර්ථික පද්ධතිය වූ කලී හුවමාරු ආර්ථික පද්ධතියකි. සැබවින්ම ඩිජිටල් ලෝකයට මෙය නවමු සංකල්පයක් නොවන්නකි. අන්තර්ජාලය ඔස්සේ අපි දැනටමත් තොරුතුරු පමණක් නොව භාණ්ඩ හා සේවාද හුවමාරු කරගනිමින් සිටින්නෙමු. එලෙස අතත්‍ය ඩිජිටල් මාධ්‍යයක සිට භාණ්ඩ හා සේවා හුවමාරුව භෞතික ලෝකය වෙත සම්ප්‍රේෂණය වන ඇති බවට මුලදී බොහෝ දෙනකු තුළ වූයේ අවිශ්වාසයකි. නමුත් දැන් එම තත්ත්වය ඇස් පනාපිටම වෙනස්ව තිබේ. එපමණක්ද නොව අන්තර්ජාලය ඔස්සේ ගමනාගමන මාධ්‍ය හුවමාරු කරගැනිමේ ප්‍රවණතාවක්ද දැන් හටගෙන තිබේ. යම් හෙයකින් ඔබට සුනිත්‍ය බලශක්තිය මත පදනම් වූ බලශක්ති ජාලයක් නිර්මාණය කරගැනීමට සමත් වූයේ නම් අන්තර්ජාලය ඔස්සේ රියැදුරන් රහිත ස්වයංක්‍රීය මෝටර් රථ ප්‍රවාහන සේවයක් ස්ථාපනය කිරීමට පුළුවන. එය තිරසර ආර්ථික රටාවක ඇ‍රැඹුම වනවා ඇත. එනම් තෙවැනි කාර්මික විප්ලවයක ඇරඹුම ඉන් සලකුණු වනවා ඇත.

 

රුක්ලන්ති පෙරේරා

නව අදහස දක්වන්න