අර්බුදයට හොඳම විසඳුම අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමයි | දිනමිණ

අර්බුදයට හොඳම විසඳුම අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමයි

පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර

පවතින ආර්ථික සහ දේශපාලන අර්බුදය නිරාකරණය කර ගැනීමට ඇති විකල්ප විසඳුම් ගණනාවක් අතුරින් ගන්න තිබෙන ඉතාම හොඳ විසඳුම අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ මල්වතු පාර්ශවයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිතසිරි සහ අස්ගිරි පාර්ශවයේ අනුනායක වේඬරුවේ උපාලි නාහිමිවරුන්ට අදාළ යෝජනා මාලාව පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

"මහජනතාවට මෙන්ම තරුණයන්ටත්, ගොවීන්ටත්, ව්‍යාපාරිකයන්ටත්, මිත්‍ර පාර්ශික අන්තර්ජාතික ප්‍රජාවටත් පිළි ගත හැකි පාලන තන්ත්‍රයක් වගේම ආර්ථික වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමෙන් පවතින අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා සියලු කරණු ඇතුළත් කරමින් විසඳුම් යෝජනාවලියක් පොදුජන පෙරමුණේ පසු පෙළ මන්ත්‍රීවරුන් 10 දෙනකු විසින් ජනපතිවරයාට ඉදිරිපත් කර තිබෙනවා.

මේ යෝජනාවලිය ක්‍රියාවට නැංවීමට ආණ්ඩුවට බල කිරීමත්, විපක්ෂයෙන් ඉල්ලීම් කිරීමටත් අප කටයුතු කරනවා. ඒ ඔස්සේ අප සියලු දෙනාට සර්ව පාක්ෂික අන්තර්කාලීන පාලනයක් කෙටි කාලයකට බිහිකර ගත හැකියි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයේ සිටින අවස්ථාවේ තමයි කාලාන්තරයක් පුරා ඔඩුදුවන ලද ආර්ථික අර්බුදය පිටතට පැමිණියේ. කොරෝනා වසංගතයත්, යුක්රේන රුසියා යුද්ධයත් ඇතුළු වෙනත් කාලීන තත්ත්වයන් ගණනාවක් මේකට බලපෑවා.

භාණ්ඩ මිල දරා ගත නොහැකි ලෙස වැඩි වීම පාලනය කරන්න, භාණ්ඩ හා සේවා සැපයුම් ජාලය සක්‍රීය කරන්න, ඔෘෂධ හිඟය නැති කිරීමට, පොහොර දීමට වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුයි. ජනපති බලයෙන් ඉවත් කිරීමෙන් රටේ බලය පාතාල කල්ලිවලට අත්වීමේ උවදුරක් තිබෙනවා. අපි හඬ නඟන්නේ ජනපති එම ධුරයේ සිටිමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව යම් විසඳුමක් කරා යන්න කියලයි. මහ මැතිවරණයට ගියොත් කෝටි 1200ක් වැය කරන්න වෙනවා. මෙරට ආර්ථිකයට ඒක දරා ගන්න බෑ. කවුද වැරදිකරුවා කියා හොරා ඇල්ලීමට වඩා පළමුව කළ යුත්තේ පවතින අර්බුදය විසඳා ගැනීමයි."

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න