ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේදී ලේ දන් දීමේ වැඩසටහනක් | දිනමිණ

ත්‍රිකුණාමලය නාවික තටාකාංගණයේදී ලේ දන් දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමාජ සත්කාර වැඩසටහනක් ලෙස සංවිධාන කළ ලේ දන් දීමේ වැඩසටහනක් පසුගියදා (30) ත්‍රිකුණාමලය නාවික තටාකාංගණ පරිශ්‍රයේදී පැවැත්විණි.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන නාවික හමුදා සමාජ සත්කාර වැඩසටහන් යටතේ, නැඟෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජයන්ත කුලරත්න මහතාගේ මඟපෙන්වීම යටතේ, ත්‍රිකුණාමලය මහ රෝහලේ පර්ෂද ලේ බැංකුවේ රුධිර සංචිත නිසි ලෙස පවත්වා ගැනීමේ අරමුණෙන් රෝහලේ ඉල්ලීමකට අනුව මේ ලේ දන් දීමේ වැඩසටහන සංවිධාන කෙරිණි. මේ උතුම් සත්කාර්ය සාර්ථක කර ගැනීමට නැඟෙනහිර නාවික විධානයේ නාවික තටාකාංගණ පරිශ්‍රයේ සියලු නෞකා සහ ආයතනයන්ගේ නාවික පුද්ගලයන් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දායකත්වය දුන්නේය.

නැඟෙනහිර නාවික විධානයේ වැඩබලන කොමදෝරු සෞඛ්‍ය අධිකාරිගේ අධීක්‍ෂණය යටතේ මෙය පැවැත්විණි. නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ත්‍රීකුණාමලය මහ රෝහලේ පර්ෂද ලේ බැංකුව වෙනුවෙන් විශේෂඥ වෛද්‍ය ෂීනා ශනුස් මහත්මිය ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

රක්ෂණ ශ්‍රියන්ත

නව අදහස දක්වන්න