ජාතික එකඟතා ආණ්ඩුවකට පොහොට්ටුවත්-ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමත් එකඟ වෙයි | දිනමිණ

ජාතික එකඟතා ආණ්ඩුවකට පොහොට්ටුවත්-ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමත් එකඟ වෙයි

ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම එකඟත්වයකට පැමිණ තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම අතර ඊයේ (2) පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවට පැමිණ ඇත.

ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් සංකල්පයක් හැටියට යෝජනා ඉදිරිපත් වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස ඊට එකඟත්වය පළ කළ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා දිනමිණට පැවසීය.

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා ජාතික එකඟතා ආණ්ඩුවක් පිහිටුවීමේ කටයුතු ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිවරයාට අවශ්‍ය සහයෝගය දීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස එකඟත්වය පළ කර තිබේ.

දැනට සංකල්පයක් හැටියට ඉදිරිපත් කරන ජාතික එකඟතා ආණ්ඩුව ක්‍රියාත්මක වන ක්‍රමවේදය පිළිබඳ සියලු පාර්ශ්ව අතර පැහැදිලි එකඟතාවක් ඇති කර ගත යුතු බවත් ඒ මඟින් ඉදිරියේදී පිහිටුවනු ලබන එකඟතා ආණ්ඩුවකදී ඇති වන ගැටලු අවම කරගැනීමට හැකිවනු ඇති බවත් පොදුජන පෙරමුණු මහ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස්, ඇමති රමේෂ් පතිරණ, පක්ෂ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න යන මහත්වරුන් පොදුජන පෙරමුණ වෙනුවෙන් මෙම සාකච්ඡාවලට සහභාගි වූ අතර සර්ව පාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් සාකච්ඡා ඉදිරියට ගෙන යෑම සඳහා පත් කළ කමිටුවේ සාමාජිකයන් වන නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ටිරාන් අලස් යන මහත්වරු මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

නෙරංජලා වික්‍රමසිංහ

නව අදහස දක්වන්න