පොම්පෙයි පුර අවසන් සමය | දිනමිණ

පොම්පෙයි පුර අවසන් සමය

ක්‍රි.ව.79 ඔක්තෝබර් 24 දා, විසූවියස් ගිනි කන්ද පුපුරා ගියේ එය පාමුල පිහිටි පොම්පෙයි නමැති රෝම නගරය සම්පූර්ණයෙන්ම විනාශ කර ලාවා ප්‍රවාහයකින් වසා දමමිනි. නගරවාසීහු දෙදහසක් පමණ ඉන් මිය ගියහ.

ඉන් දිගු කලකට පසුව, පුරාවිද්‍යාඥයන් විසින්, පොම්පෙයි නගරයේ නටබුන් නැවත සොයා ගනු ලැබූ අතර, අද එය සංචාරක ආකර්ෂණය දිනා ගත් ඓතිහාසික ස්ථානයකි.

පොම්පේයි පුරාවත සාහිත්‍යකරුවන්ගේ ද අවධානය දිනා ගත් අතර, ඒ ඇසුරෙන් නිර්මාණ රැසක් බිහිවිය. ස්ටැන්ලි සැල්මන්ගේ Foot Prints in the Ash (අළු මත ඇඳි පිය සටහන්), සෙරිඩ්ඩෙන් ඩෝවේ ගේ in the Garden of the Fugitives (පලා ගියවුන්ගේ උද්‍යානය) කැරල් ගුඩ්මන්ගේ The Night Villa (රාත්‍රී නිවස්නය) රොබට් හැරිස්ගේ “Pompeii” හා එඩ්වර්ඩ් ජෝර්ජ් බුල්වර් ලිට්න් ගේ “The Last Days of Pompeii” (පොම්පේයි පුර අවසන් දවස්) යන කෘතින් වඩාත් ප්‍රකට විය.

පත්‍රකලාවේදියකු මෙන්ම, ඓතිහාසික නවකතාකරුවකු ලෙස ද ප්‍රකටව සිටි ඉංග්‍රීසි ගත්කරු රොබර්ට් හැරිස් 2003 දී ප්‍රකාශයට පත් කළ ‘පොම්පේයි‘ නවකතාව බොහෝ දුරට සත්‍ය කරුණු මතට ලියැවුණක් විය.

හැරිස් විසින්ම තිර නාටකය ලියන ලදුව ‘පොම්පෙයි’ නවකතාව ඇසුරින් සිනමා නිර්මාණයක් කිරීමට රොමාන් පොලාන්ස්කි සූදානම් විය. ස්පාඤ්ඤයේදී රූගත කිරීමට සැලසුම් කෙරුණු එහි නිෂ්පාදන වියදම එතෙක් යුරෝපයේ නිපැයුණු සියලු චිත්‍රපට ඉක්මවා යන්නකැයි සඳහන් විය. එහෙත්, අවසානයේ චිත්‍රපටය රූගත කෙරුණේ නැත. තිර නාටකය හා පසුතල දර්ශන පිළිබඳ ගැටලු කීපයක් මෙන්ම, යෝජිතව තිබූ සිනමා නළු නිළි වර්ජනයක් ද ඊට හේතු විණි.

ඉන් පෙර හා පසුව පොම්පෙයි විනාශය පසුබිම් කරගත් සිනමා කෘති හා රූපවාහිනි චිත්‍රපට කීපයක්ම නිර්මාණය කෙරී ඇත. 2014 දී නිපදවුණු පෝල් ඩබ්. ඇන්ඩර්සන්ගේ ‘පොම්පෙයි’ ලොව පුරා සාර්ථකව තිරගත කෙරිණි.

1834 දී ‘පොම්පෙයි පුර අවසන් සමය‘ රචනා කළ එඩ්වර්ඩ් ජෝර්ජ් බුල්වර් ලිට්න් (E.G. Bulwar Lyttn) එකල බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයකු ද විය. පසුව යටත් විජිත භාර ලේකම් පදවිය ද දැරීය. ග්‍රන්ථ කීපයක්ම රචනා කළ ලිට්න්, ලේඛකයකු වශයෙන් වඩාත් කීර්තියට පත් වූයේ පොම්පෙයි පුර... නවකතාවෙනි. එය ලිවීමට ඔහු තුළ අදහසක් පහළ වූයේ ඉතාලියේ මිලාන් නුවර දී රුසියානු ජාතික චිත්‍ර ශිල්පී කාල් බ්‍රිලියුලෝව්ගේ ‘පොම්පෙයිපුර අවසන් දිනය’ නමැති සිතුවම දැකීමෙන් පසුව යැයි සඳහන්ව තිබේ.

ලිට්න්ගේ නවකතාව 1943 දී ‘දේවතාපය’ නමින් සිංහලයට පරිවර්තනය කෙරුණි. එහි පරිවර්තකයා වූයේ ලිට්න් මෙන්ම, දේශපාලන හා සාහිත්‍ය ක්ෂේත්‍ර දෙකෙහිම ක්‍රියාකාරිව සිටි අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ලය.

දණ්ඩගමුව හා කුලියාපිටිය ආසන්නයන්හි මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ ඔහු අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරය ද හෙබවීය. දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමට පෙර පුවත්පත් කලාවේදියකු වශයෙන් ද, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාඨ ග්‍රන්ථ පරිවර්තකයකු වශයෙන් ද කටයුතු කළ ඊරියගොල්ල, 1953 දී වික්ටර් හියුගෝ ගේ සුප්‍රකට ප්‍රංශ නවකතාව ‘ලේ මිසරාබ්ලා’ මනුතාපය නමින් සිංහලට නැගීය. පාසල් සිසුන් සඳහා ද නිර්දේශිත ග්‍රන්ථයක් වූයෙන් එය බෙහෙවින් ජනප්‍රිය විය. හියුගෝගේ නවකතාවේ ප්‍රධාන චරිතය වූ ෂෝන් වල්ෂොන් (Jean Valjeen : ඉංග්‍රීසි උච්චාරණය ජීන් වැල්ජින්) පාන් ගෙඩියක් සොරකම් කළ වරදට, 19 වසරක් සිර දඬුවම් ලැබුවෙකි. ඊරියගොල්ල, මනුතාපයේදී තම කතානායකයා හැඳින් වූයේ ‘ජන වර්ජන’ යනුවෙනි. එ නම මෙන්ම ජනවර්ජන චරිතය ද සිංහල පාඨකයා අතර ජනප්‍රිය විය.

‘මනුතාපය’ මෙන්ම ‘දේවතාපය’ ද සිංහල සාහිත්‍ය ලෝකයට හඳුන්වා දීම සමකාලීන වශයෙන් ඉතා වැදගත් මෙහෙවරක් වුව ද, ඒ දෙකම සංක්ෂිප්ත අනුවර්තන විය. පිටු 900ක් පමණ දිගු නවකතාවක් වූ ‘ලේ මිසරාබ්ල’, ‘මනුතාපය’ බවට පත්වෙද්දි පිටු 150 කට සීමා විය. පිටු 600 කට අධික වූ ‘ද ලාස්ට් ඩේස් ඔෆ් පොම්පෙයි’ ‘දේපතාපය’ බවට හැරුණේ පිටු 150කිනි.

‘දේවතාපය’ සිංහල ග්‍රන්ථය දස වසරක් තුළ දී අසූ දහසකට අධික පිටපත් සංඛ්‍යාවක් අලෙවි විණි. 1953 දී ප්‍රකාශයට පත් මනුතාපය 1982 වන විට 13 වරක් මුද්‍රණය වී තිබිණි. අමෙරිකානු ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ ග්ලෙන් ජෝර්ඩන් විසින් සිනමාවට නැගූ මනුතාපය ටයිටස් තොටවත්තයන්ගේ සිංහල හඬකැවීමෙන් යුතුව ජාතික රූපවාහිනියෙන් ද විකාශනය කෙරිණි.

දේවතාපයට පසුබිම් වන පොම්පෙයි නගරය හැමවිටම එව, කව, බොව, කම්සුව විඳුව හඬින් පිරී තිබූ සුඛෝපභෝගී පුරයකි. එය පළමුවරට විනාශ වන්නේ ක්‍රි.ව.63දී ඇති වූ මහා භූමිකම්පාවකිනි. නුවරු යළි එය ගොඩ නංවති. දෙවැනි හා අවසාන විනාශය පිළිබඳව දේවතාපය පූර්විකාව මෙසේ සඳහන් කරයි.

දේව කෝපය ශාපයට පරිවර්තනය වීමෙන් දෝ හෝ නැත හොත් මනඃකල්පිත අයෝනා මිසර පූජකයාගෙන් බේරා ගැනීමට දෝ හෝ ක්‍රි.ව.79 අගෝස්තු 24 දින මෙතෙක් කල් නිදා සිටි භූතයකු අවදි වන කලක් මෙන් විසූවියස් කන්ද විවරව ගිනිදැල් විහිදුවමින් මිහිකත චලනය කරවමින් ගිනි අළු, ගිනි අඟුරු, ලොහොදිය වගුරුවන්නට පටන් ගති. නගර වැස්සෝ කොට්ට හිස තබා ගෙන හිස් ලූ ලූ අත දුවන්නට වන්හ. නගරය ඒකාන්ධකාර විය. පොම්පෙයි නගරය මතුපිටින් අඩි 30ක් පමණ වූ ඝන අළු තට්ටුවකින් මුළුමනින්ම යට වී ගියේය.

එසේ වැළලී අමතකව ගිය පොම්පෙයි නගරය පුරා විද්‍යාඥ ඇසට ලක්ව යළි මතු කෙරෙන්නේ විනාශයෙන් ශත වර්ෂ 16 කට පසුවය.

‘දේවතාපය’ පොම්පෙයි නුවර සෞභාග්‍යවත් යුගය පසු තල කර ගත්, ප්‍රේම වෘත්තාන්තයකි. එහි කතා නායකයා වන්නේ ඇතැන්සයේ සිට එපුරට ළඟා වන ග්ලව්කුස් නමැති වංශවත් ග්‍රීක තරුණයෙකි. ඔහුගේ ප්‍රේමවන්තිය වන්නී මිනර්වා දෙව් දුව හා සදිසි, රූමත් ග්‍රීක තරුණියක වන අයෝනාය. ඔවුන්ගේ ප්‍රේමයට හරස් වන්නේ ඇබසස් නමැති මිසර සම්භවයකින් යුත්, වැඩිහිටි පුද්ගලයෙකි. ඔහු අයෝනාගේ උපදේශකවරයකු සමීප හිතවතකු මෙන් පෙනී සිටිය ද යටි සිතින් ඈ දිනා ගැනීමේ අරමුණැතිය. එහෙත් ඒ බවක් නොදන්නා ග්ලම්කුස්, තම පෙම්වතියට හිතෛෂී යැයි සිතන නිසාම ඇබසස් හා මිතුරු වීමට ද උත්සාහ කරයි. එහෙත් ජාති ආගම් වශයෙන් ද වෙනස් දෙදෙනකු වන ඔවුන් හැමවිටම ගැටෙනවා මිස සුහද වීමක් නම් නොවෙයි.

ඇබසස්, මුසා බස් පවසමින් උපක්‍රමශීලී ලෙස, අයෝනාගේ සිත බිඳවා, ග්ලව්කුස්ගෙන් ඈත් කරවයි. එහෙත් ඇය පසුව සත්‍යය වටහා ගෙන යළි ඔහුට දැඩි ලෙස පෙම් කරන්නට වෙයි.

මේ පෙම් කතාවේදී හමු වන පාඨකයාට ළං වන තවත් සුන්දර චරිතයක් වන්නේ වංශවත් පවුලක උපන් නමුදු පසුව වහල් බවට පත්ව සිටින නිඩියා නමති අන්ධ තරුණියකි. ඇය ද ග්ලව්කුස්ට රහසින් පෙම් කරයි. අවසානයේ අයෝනාට ජය අත් කර දෙමින් සයුරට පැන දිවි නසා ගනී.

විසූවියස් ගිනි කන්ද පුපුරා යන්නේ, අවසන් පරිච්ඡේදයේදීය. දේවතාපය පරිවර්තක ඊරියගොල්ල එය තම ගම්භීර භාෂාවට නඟන්නේ මෙසේය:

පොළෝ තලය ගිගුම් දෙමින් යළිත් සසැලිණි. අවට ඝනාන්ධකාරය අන්තර්ධාන කෙරෙමින් පර්වතය ද ගිනි ගත්තා සේ දිලිසිණි. ගිරි ශිඛරය ද දෙපළු වූවා සේ පෙනිණි.

කැකෑරීම නිසා අඳුරු රත් පැහැයෙන් ලෙළදෙමින් සෙමෙන් සෙමෙන් නගරය දෙසට ලාවා ගැලුවේය. පොළෝ කම්පනයත් සමඟම මුළු නගරයෙහිම දෝංකාරය පතුරුවමින් ඇද වැටෙන ස්ථම්භවල ද ගෙපියැසිවල ද හඬ හැම දෙසින්ම ඇසිණි. ග්ල්ව්කුස් ආදීන් සිටි තැනට නුදුරින් පිහිටි ලෝහමය ඔගස්ටස් අධිරාජ ප්‍රතිමාව ඉසුලූ ගල් ටැඹත් සමඟම වන්නිපමාල ප්‍රභායෙන් කාන්තිමත් විය.

ඉක්බිති ටැඹත්, පිළිමයත් දෙකම වේගයෙන් සැසැලී දෙදරා විථිය මුළුල්ල රැව් දෙමින් ශෛල වේදිකාව මත ඇද වැටුණේය. වේදිකාව ද දෙකඩට පැළී ගියේය,

එම ප්‍රතිමාවේ බිඳ වැටීම ඉසුරුමත් නගරයක විනාශය සංකේතවත් කරයි. පොම්පෙයි නුවරුන් එතෙක් ගත කර ඇත්තේ දිය රත් වන තුරු සැළියේ දිය කෙළි කකුළුවන් හා සමාන දිවියක් බව පාඨකයාට වැටහේ.

ජාතිය, ආගම, ධනය හා බලය යොදා ගනිමින් ජනතාව මුළා කරමින් සිටි නායකයන් ද, පූජකයන් ද භයානක ඉරණමකට මුහුණ පානුයේ සොබා දහම වෙනුවෙන් ඉදිරියට එන විසූවියස් නමැති පර්වත රාජයා දුන් දඬුවමට යටත් වෙමිනි.

60-70 දශකයන්හි මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල 1970 මහ මැතිවරණයෙන් පරාජයට පත් වෙයි. එය ඔහුගේ දේශපාලන ජීවිතයේ අවසානය ද වෙයි. එම මැතිවරණයේදී ඊරියගොල්ල අධ්‍යාපන ඇමැතිට එරෙහිව නැගී සිටි විසූවියස් වූයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ය. ඔහුගේ නායකත්වයෙන් යුත්, සරසවි සිසුවෝ ඇමැතිට එරෙහිව සටන් කිරීමට එදා කුලියාපිටිය ආසනයේ කඳවුරු බැඳ ගත්හ. පරාජයෙන් තෙවසරකට පසු ඊරියගොල්ල ජීවිතයෙන් ද සමු ගත්තේය. ඊරියගොල්ල නමැති දේශපාලනඥයා මිය ගියත් ඒ නමැති සාහිත්‍යවේදියා හා භාෂා ප්‍රේමියා අමරණීයය.

 

නව අදහස දක්වන්න