බත් ගසේ පිහිට | දිනමිණ

බත් ගසේ පිහිට

මියුරු හඬින් හිමිදිරිය ඔපවත් කරන නාඳුනන විහඟා කවර ගසක ලගින්නේදැයි සිතන්නට කාලය මිඩංගු නොකළෙමි. අරුණෝදය එක්ක ඒ ගායකයා අතුරුදන් වෙයි. දවසේ භෝජනය සොයා ඉගිල යනවා නිසැකය. අනෙක් අතට ඒ මධුර ස්වරයේ හිමිකරුවා යාබද වත්තේ සිටිනවා විය හැකිය. අත්තටු ඇත්තෝ වැට කඩුලු හා සීමා මායිම් නොතකති.

උද්ධමනය උග්‍ර රටක් ලෙස මගේ ඉපැරණි මුළුතැන්ගෙය ද එයින් ගැලවී නොතිබිණ. කෑදර කටවල් හත අටක් සිහි කරමින් සිත නැඟි නොරිස්සුම මකා ගන්නට වෙහෙසුණෙමි. මේ අර්බුදකාරී වකවානුව පිළිබඳව මම මගේ කොල්ලන්ට කලින්ම දැනුම් දුන්නෙමි.

‘තෙලට, කිරට, මිරිසට, රසට, ගුණට කන්න හොයන්න එපා. මේ කරදර ටිකක් අඩු වෙනකල් වත් නොමැරී ඉන්නයි අපිට කන්න වෙන්නෙ. ඒක හොඳට මතක තියාගන්න.‘

යෞවන නුවන් දීප්තියෙන් දිලුණා මිසක වාද කරන්නට කටවල් ඉවර නොවීය.

මහ පොළොවට පස් වී කාලාන්තරයක් ගත වී මට මඟපෙන්වන මුත්තම්මා මගේ අතින් අල්ලාගෙන වත්ත පහළට ගමන් කළාය.

‘කඩෙන්ම ගේන්න ඕනෑ ද? වෑංජනේට දෙයක් බලාපන්කෝ? වටපිට එමටයි නේ. ළිප තියන්න බවබෝග....‘

උන්දැට අවනතව මම පොළොස් ගෙඩියක් කඩා ගතිමි.

‘පොළොස් ඇඹුලක් හින්දලා ගනිංකො මිරිසට. පොල් තියේ නම් එකසැරේ කිරි මිරිකලා තෙල් පෑදෙන්ඩ උයාපං‘

මුත්තම්මාගේ හඬ මගේ උදෑසන නොරිස්සුම අකා මකා දමයි.

‘සම්බෝලෙකුත් අඹරාපං... කොල්ලො කයි කදිමට...‘

කිරි අම්මාගේ යෝජනාව ද නරක නැත. මුත්තම්මාත් කිරිඅම්මාත් මගේ බාල විය වර්ණවත් කළ ප්‍රදීපාගාර යුගලයක් බඳුය. තවමත් ඒ ආලෝක දහරා මට මඟ නොමඟ පෙන්වයි. අනේ! එවුන්දලා වෙතින් නිබඳ හැමූ බත් මාළු පිනි හා මල් හඳුන්කූරු සුගන්ධය දැනුදු නැහැපුඩු සිසාරා මා වෙත සැහැල්ලුව ද සොම්නස ද පුද දෙයි.

වත්තක් පිටියක් නැති සබ්බ සකලමනාවම වෙළෙඳපොළින් මිල දී ගත යුතු නාගරිකයා හා සැසඳීමේදී ගැමියා මෙවන් කුණාටු බහුල සමයක පවා තරමක් දුරට හෝ වාසනාවන්තය.

‘කිරිකොස් උයනවා නම් වරකා ගහෙං කඩාගන්නා වැල මදුල තුනී වැඩියි. වරකා ගහේ මදුල ගනකං හොඳට හැඳි ගෑවෙනවා. හැන්ද ඔබා ගන්ඩ බැරි තරම්...‘

මුත්තම්මාගේත්, කිරිඅම්මාගේත් අනේක අවවාද හා අනුශාසනා එක්ක ළිප ගින්දරේ දැවුණෙමි.

සැබැවින්ම වියපත් වීම යනු සොබාදහමේ සංසිද්ධියක් විනා ගැරහුම් හෝ අවමන් ලැබිය යුත්තක් නොවේ. අද ළමයා හෙට තරුණයෙකි; ඉනික්බිති මහල්ලෙකි.

මහලු විය දක්වාම මේ එකම පුද්ගලයා බඳුන් වන විපර්යාසයන් සොබාදහමේ නියමය නොවේ ද?

දිගු දිවි ගමන් මඟ සුඛ දුක්ඛ දෝමනස්සයන් එක්ක අනේක අත්දැකීම් ලැබූ වැඩිහිටියන් රන් රුවන් පිරුණු ධන නිධානයක් නොවේ ද? එහෙත් තවමත් නොදියුණු අපි මහලු වියට ද එකිනෙකා නිරතව හිඳින වෘත්තීන් අනුව ද අනෙකාට අවලාද හා අවමන් කරන්නෙමු.

වඩා යහපත් රටක් උදෙසා අප තවමත් එල්ලී හිඳිනා අගතිගාමී ආකල්පයන්ගෙන් නිදහස්ව දයාව හා කරුණාව පෙරදැරි කරගත යුතු නැද්ද?

නව අදහස දක්වන්න