සහෝදර ඇමතුමට පෙම්බැඳි බාලා | දිනමිණ

සහෝදර ඇමතුමට පෙම්බැඳි බාලා

යාපනයෙන් එපිටහට ගොස් සිංහල භාෂාව කතා කරන පෙදෙසක කල් ගෙවන්නට වරම් ලද දමිළ පුරවැසියකුට සිංහලය ප්‍රගුණ කර ගැනීමට වරම් ලැබේ. නැවත යාපනයට පැමිණි පසු එය අමතක වනුයේ සිංහලෙන් කතා බහ කරන්නට කෙනෙකු තම එදිනෙදා ජීවිතයේ නිතර හමු නොවන බැවිනි.

සිංහලය මව්බස වූ කෙනෙකුගේ තත්ත්වය ද එසේම ය. යම් භාෂාවක් චතුර ලෙස කතා කිරීමට හැකි වීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකය වන්නේ නිරන්තර පුහුණුවයි. යාපන වැසියෝ සිංහල භාෂාව හඳුන්වනුයේ “සහෝදර මොළි” (සහෝදර භාෂාව) යනුවෙනි. ඔවුන් එම සහෝදර භාෂාව හදාරන්නට දක්වනුයේ අති මහත් උනන්දුවක් බව මම දැක ඇත්තෙමි. තමන් උගෙන ඇති වචනයක් දෙකක් පවා වරද්දමින් හෝ තෙපලීමට ඔවුන් පෙලඹෙනුයේ ඒ උනන්දුව නිසා ය. මේ මට හමු වූ සරවණන් බාලසිංහම් මහත්මයා එසේ මා සමඟ දොඩමලු වූ අයුරුයි:

“අයියා (මහත්මයා) ඔයා කියන දේ මට හොඳට තේරෙනවා. ඒත් ඔයාගෙ භාෂාවෙන් කතා කරන්න බෑ” ඔහු වචන සොයා සොයා, එකතු කරමින් කීවේ ය.

“මටත් එහෙමයි ඉස්සර, දිගටම දෙමළ ඇහෙනකොට හුරු වුණා,” මම විස්තර කළෙමි.

කියන දේ තේරුම් ගැනීමට හැකි වීමත් එයට පිළිතුරු දීමට නොහැකි වීමත් දෙපිරිසේ ම අය මුහුණ දෙන ගැටලුවකි. එම නිසා අප මුණ ගැසුණු බොහෝ විට සිදු වනුයේ එක්කෝ මුනිවත රැකීමට ය; නැත හොත් අංග චලන භාෂාව භාවිත කිරීමට ය.

“ඔයා එක්ක අපේ අය සිංහල කතා කරනවා දැක්කාම ගොඩක් ආසා හිතෙනවා. අනේ මටත් උගන්නන්නකො” ඔහු මගෙන් එසේ ඉල්ලා සිටියේ ය.

ඔහුගේ ඒ ඉල්ලීම මම ඉතා සාදරයෙන් පිළිගත්තෙමි. කෝප්පායි පෙදෙසේ දිවි ගෙවූ, හැත්තෑ පස් වියැති ඔහු මට හඳුනා ගන්නට ලැබුණේ “කොට්ටම්” (මහන්තත්වය) දමිළ නාට්‍යයේ පුහුණුවීම් කාලය අතරතුරදී ය. නාට්‍ය පුහුණුවෙන් පසු පළමු දර්ශනය ද හමාර වී මා විවේකී වූ විට කාලය වෙන් කරවා ගෙන සිංහල ඉගෙන ගැනීමට ඔහු ගිවිස ගත්තේ ය.

නාට්‍ය පුහුණුවීම් කාලය තුළ ඇතැම් සන්ධ්‍යා යාමයන්හි සිනා මුසු මුහුණින් යුතුව පැමිණි බාලා පුහුණු කටයුතු මහත් ආශාවෙන් බලා සිටියේ ය. ඔහු ද නාට්‍ය රචකයකු, අධ්‍යක්ෂවරයකු වීම එයට හේතුවයි.

යාපනයේ රඟ දක්වන්නට යෙදුණු සිංහල නාට්‍ය දර්ශන සියල්ලක් ම ඔහු නරඹා ඇත්තේ ය. එපමණක් ද නොව ඇතැම් සිංහල නාට්‍ය කොළඹ ගොස් නැරඹූ බව ඔහු පැවසුවේ ය. හුණුවටයේ කතාව, මකරාක්ෂයා, මරාසාද්, සොක්‍රටීස්, ධවල භීෂණ, සාන්තුවර සෙබලාණෝ ඔහු නැරඹූ සිංහල නාට්‍ය ලැයිස්තුව ය.

ඔහු “කොට්ටම්” නාට්‍ය අධ්‍යක්ෂණ කටයුතුවල නිරත වෙමින් සිටි කේ. සත්තියසීලන් මහතාට එම නාට්‍යයේ වර්ධනය සඳහා සිදු කළ යුතු ඇතැම් වෙනස්කම් යෝජනා කරමින් සහාය දුන්නේ ය.

නාට්‍යයේ පළමු දර්ශනය නරඹා ඉමහත් ප්‍රීතියෙන් යුතුව තම අදහස් දැක්වී ය. ලංකාවේ අනෙකුත් පළාත්වල ද එම නාට්‍යය රඟ දැක්විය යුතු යැයි ඔහු යෝජනා කළේය. එයට මුල් වෙමින් තුන්වන

නාට්‍ය දර්ශනය කිලිනොච්චියේ ද සිව්වැන්න පුත්තූර්හි ද සංවිධානය කිරීමට ඔහු පෙරමුණ ගත්තේ ය.

නාට්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම නිරිඇල්ල මහතා ඇතුළු කණ්ඩායමේ සිටින සිංහල සාමාජිකයන් කිහිප දෙනාට ගෞරව දැක්වීමට ද ඔහු එම අවස්ථා දෙක ම උපයෝගී කර ගත්තේ ය. ගෞරව වාක්‍යය දමිළ බසින් ලියා එය සිංහලට පරිවර්තනය කර දෙන මෙන් මගෙන් ඉල්ලා සිටියේ ය. එය මෙසේ ය:

ජනවාර්ගික කෝලාහල තුළින්

සිහළ දමිළ ජාතිවාදය දිගින් දිගටම

අභිෂේක ලබමින් රාජ්‍ය කෙරෙද්දී

සිහළ දමිළ මහා යුද්ධයකට මං පෑදූ

 

අපගේ ශ්‍රී ලංකා දේශය

මහා විනාශයන්ට ලක් වූ වටපිටාවක

දිරියෙන් ද කැපවීමෙන් ද

නාටක කරළිය ඔස්සේ ......

ජාතික සංහිඳියාවේ දීර්ඝ චාරිකාව

ජනතා ආදරය ලැබ

ඉදිරියට රැගෙන යන

ජන කරළිය නිර්මාතෘතුමන්ට

යුද්ධයෙන් වැළලී නැවත පණ ලද

වන්නි ජනතාව සහ කලාකරුවන් වන අපි එක්ව

“සංහිඳියාවේ මුර දේවතාවා” යන

නාමයෙන් ගරු බුහුමන් පුද කරමු .....

ඔබ තුමන්ගේ සංහිඳියා ගමනේ

අපි දු නිරතුරු අත්වැල් බැඳ සිටිමු .....

ජනවාර්ගික අතර සංහිඳියාව ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධියට මාවතයි.

ස්තූතියි!

මෙයට

යුද්ධයෙන් පීඩාවට පත් වන්නි ජනතාව සහ නාට්‍ය කලාකරුවෝ

 

නාට්‍යකරුවකු ලෙස කලා ලොව පය ගසා සිටි බාලා සමාජ සුභසිද්ධිය සහ සියලු මිනිසුන්ගේ විමුක්තිය වෙනුවෙන් තම දිවිය කැප කළේ ය. හැත්තෑව දශකයේ තම නාට්‍ය ඔස්සේ ඔහු වැඩ කරන ජනතාව, බිම් මට්ටමේ මිනිසුන්, නිර්ධන පංතිකයින්, වතුකරයේ දමිළ ජනයින් ගැන හඬ අවදි කළේ ය. 1970 දශකයේ මැද භාගයේ ඔහු විසින් රචිත “සමාජ වෙනස් වීම” නමැති නාට්‍යයෙන් යාපනයේ පවතින කුල පීඩනයට ප්‍රධාන හේතුව ඉඩම් ප්‍රශ්නය යැයි ගෙනහැර පෑ බව සිනන්නයියා මෞනගුරු මහාචාර්යතුමා පවසා ඇත.

අප හඳුනා ගත් පසු ඔහු දැනුම්වත්ව සිදු වන සෑම කලා කටයුත්තකටම පාහේ මට ආරාධනා කළේ ය. ඒ

සෑම විටක ම “සභාව අමතා දෙමළ භාෂාවෙන් වචනයක් දෙකක් කතා කරන්නැ” යි ඔහු මගෙන් ඉල්ලා සිටියේ ය. මහලු වයසට පත්ව සිටියදී ඔහුට සිංහල ඉගෙන ගන්නට අවශ්‍ය වුණේ ඇයිදැයි මට දැන් වැටහේ. නමුත් ඔහුගේ ඉල්ලීම ඉටු කිරීමට මට ඉඩ නොලැබිණි.

කලාව කලාව උදෙසා නොව කලාව මිනිසා උදෙසා ය යන සංකල්පය හිස් මුදුනින් ම ඇදහූ මෙම ජනතාවාදී කලාකරුවා සාමය, සහජීවනය ළැදි හදවත් තුළ මහා හිස්කමක් ඉතිරි කරමින් ඉකුත් අලුත් අවුරුදු සමය එළඹෙද්දී සිය දිවි රඟ මඬලින් සදහටම සමු ගත්තේ ය.

 

නව අදහස දක්වන්න