ජාතික සංවර්ධන වැඩපිළිවෙළින් දිස්ත්‍රික්ක 14කට ක්‍රිකට් ක්‍රීඩා පිටි | දිනමිණ

ජාතික සංවර්ධන වැඩපිළිවෙළින් දිස්ත්‍රික්ක 14කට ක්‍රිකට් ක්‍රීඩා පිටි

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ගමන් මඟ වැඩපිළිවෙළ යටතේ රට පුරා ක්‍රිකට් නැංවීම උදෙසා දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමට දිස්ත්‍රික්ක 14කින් ඉඩම් මිල දී ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ මූලිකත්වයෙන් ක්‍රිකට් විධායක සභාව ක්‍රියාත්මක කරන මේ වැඩපිළිවෙළ යටතේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, අම්පාර, කෑගල්ල, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල නව ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදි කිරීමට බලාපොරොත්තු වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීම උදෙසා දක්ෂ ක්‍රීඩකයන් රට පුරා බිහි කිරීම හා එවැනි සෑම ක්‍රීඩකයකුටම සමාන අවස්ථා දීම මේ නව දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිකිරීමේ අරමුණ වී තිබේ. මෙම ව්‍යාපෘතිය මේ වසරේ ආරම්භ කිරීමේ අදහසින් ඉඩම් මිල දී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් පසුගියදා අවතීර්ණ විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ගමන් මඟ වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලයේ විවිධ වැඩසටහන් සම්පාදනය කළ අතර, පාසල් ක්‍රිකට් සංවර්ධනය සඳහා ලණුවලින් සෑදූ මැටිං ඇතිරිලි 400ක් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළේය. ක්‍රීඩා පිටිය මැද තණ තිල්ලක් සාදා ගැනීමේ ආර්ථක අපහසුතා ඇති පාසල්වල දරු දැරියන්ට ක්‍රීඩා කිරීම සඳහා හැකි වන පරිදි අඩි 66ක දිගකින් යුතු ලණුවලින් සෑදූ මැටිං ඇතිරිලි මෙලෙස පරිත්‍යාග කෙරිණි.

එමෙන්ම රට පුරා ක්‍රිකට් නැංවීම උදෙසා පාසල් 650කට කෝටි ගණන් වටිනා උපකරණ බෙදාදීමේ වැඩපිළිවෙළක් ද දියත් කෙරුණු අතර, එම ක්‍රිකට් උපකරණ කට්ටලයේ පිති 3ක්, හිස්වැසුම් 2ක්, පා ආවරණ සහ අත්වැසුම් යුගල 3ක්, කඩුලු රකින පා ආවරණ, කඩුලු රකින අත්වැසුම්, තයි පෑඩ් සහ කණ්ඩායම් ක්‍රිකට් බෑගයක් බැගින් ඇතුළත් විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ගමන් මඟ වැඩපිළිවෙළ යටතේ කොන්ක්‍රීට් පුහුණු පැති විකට් 200ක්, පුහුණු තණතිලි 50ක්, ක්‍රීඩාංගණ මධ්‍ය තණතිලි 25ක් හා තණතිලි නිසි ලෙස පවත්වාගෙන යෑම උදෙසා ටර්ෆ් රෝලර් 300ක් පාසල්වලට දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න