රට ගොඩ ගන්න වැඩපිළිවෙළක් ගෙනාවේ රනිල් විතරයි | දිනමිණ

රට ගොඩ ගන්න වැඩපිළිවෙළක් ගෙනාවේ රනිල් විතරයි

හිටපු ඇමැති වජිර අබේවර්ධන

රට ආර්ථික අර්බුදයකට මුහුණදී තිබෙන මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම හෝ ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම නොව අර්බුදයෙන් රට ගොඩ ගත හැකි නායකයකුට රට භාර දීම බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

මාධ්‍ය වෙත ඊයේ (03) අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

රට ගොඩ ගැනීම සඳහා ඩොලර් බිලියන හයක් උපයා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සිටින 224 දෙනකුටම වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවත් ඒ සඳහා වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවත් අබේවර්ධන මහතා කීය.

රනිල් වික්‍රමසිංහ මහතාට කැමති වුවත් අකමැති වුවත් ඊර්ෂ්‍යා කළත් වැඩක් නොවන බවත් රට ගොඩගැනීමට හැකියාව ඇති පුද්ගලයාගෙන් වැඩක් ගත යුතු බවත් අවධාරණය කළ ඒ මහතා රට යළි ගොඩ ගැනීමෙන් පසු අනෙකුත් දේශපාලනඥයන්ට සිය දේශපාලනය කරගත හැකි බවත් පෙන්වා දුන්නේය. ජාත්‍යන්තරයෙන් ආධාර ගත හැකි වෙන්නේ විශ්වාසදායක නායකත්වයක් තිබුණොත් පමණක් බවත් එවැනි නායකත්වයක් තිබියදී පාර්ලිමේන්තුවේ සියලු දේශපාලනඥයන් එයට ඉඩ දිය යුතු බවත් එසේ නොකිරීම ජනතා ද්‍රෝහි ක්‍රියාවක් බවත් අබේවර්ධන මහතා අවධාරණය කළේය. ආර්ථික අර්බුදය විසඳීමට පාර්ලිමේන්තුවේ 175 දෙනෙක්ගේ සහයෝගය අවශ්‍ය බව වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇතැයි කී අබේවර්ධන මහතා ආර්ථිකය ගොඩනැඟීමට ඒ මහතාට අනෙකුත් දේශපාලන පක්ෂවල දේශපාලනඥයන්ගේ සහයෝගය දිය යුතු බවත් සඳහන් කළේය.

ශිරෝමි අබයසිංහ

නව අදහස දක්වන්න