නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් කරන්න ඇමැති මණ්ඩල අනුමැතිය | දිනමිණ

නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් කරන්න ඇමැති මණ්ඩල අනුමැතිය

නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මෙරට සංස්කෘතික උත්සවයන්ට දුන් දායකත්වය සැලකිල්ලට‍ ගෙන නැදුන්ගමුවේ රාජා හස්තියා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැතිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් අනුමැතිය හිමි වූ බව ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන රාශියක විවිධ පෙරහර මංගල්‍ය සඳහා සහභාගි වී ඇති නැදුන්ගමුවේ රාජා හස්තියා 2005 වසරේ සිට 2021 වසර දක්වා අවස්ථා 13කදී ශ්‍රී දළදා වහන්සේ වැඩම කර තිබේ.

නැදුන්ගමුවේ රාජා හස්තියා ඉකුත් මාර්තු 7 වැනිදා ජීවිතක්ෂයට පත් වූ අතර මේ වන විට එම හස්තියාගේ මෘත ශරීරය සංරක්ෂණය කිරීම සඳහා පියවර ගෙන තිබේ.

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න