ඩර්ඩන්ස් රෝහලේ ශල්‍යාගාර මෙහෙයුම් පුළුල් කෙරේ | දිනමිණ

ඩර්ඩන්ස් රෝහලේ ශල්‍යාගාර මෙහෙයුම් පුළුල් කෙරේ

ඩර්ඩන්ස් රෝහල සිය ශල්‍යාගාර මෙහෙයුම් තවදුරටත් පුළුල් කරමින් අන්තර්ජාතික මට්ටමේ ZEISS KINEVO 900 Neuro Microscope භාවිත කරන මෙරට ප්‍රථම පෞද්ගලික රෝහල බවට පත් විය. ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO සමාගම, නවීන තාක්‍ෂණය භාවිතයෙන් දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම සඳහා ක්‍රියා කරන සමාගමක් ලෙස මේ නවීන තාක්ෂණික අන්වීක්ෂය ඩර්ඩන්ස් රෝහල තුළ ස්ථාපනය කිරීම සිදු කෙරිණි.

ඩර්ඩන්ස් රෝහල 1945 වසරේ ආරම්භයේ පටන්ම මෙරට ජනතාවගේ සෞඛ්‍යය වැඩි දියුණු කිරීමේ උදාරතර අරමුණින් ක්‍රියාත්මක වූ නිසාම එම රෝහල දකුණු ආසියානු කලාපය තුළ වෛද්‍ය විශිෂ්ටත්වය සහ නවෝත්පාදනයන් මඟින් සුවිශේෂි කීර්තියක් ගොඩ නඟා ගැනීමට සමත් විය.

මෙරට සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙත ලොව හොඳම තාක්‍ෂණය හඳුන්වාදීමට ඩර්ඩන්ස් රෝහල නිරන්තරයෙන් කටයුතු කරන අතර, එමඟින් රෝගියාගේ සුවපහසුව වැඩි දියුණු කිරීම සහ ශල්‍ය වෛද්‍යවරුන්ගේ පහසුව අරමුණු කරයි. එමෙන්ම DIMO විසින් මේ ZEISS KINEVO 900 Neuro Microscope හඳුන්වා දීම ඩර්ඩන්ස් රෝහලේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා මනා ශක්තියක් දුන් බව පැවසුවහොත් නිවැරැදිය. මේ නවීන ZEISS KINEVO 900 Neuro Microscope භාවිතයේදී සියලු දර්ශන ශල්‍යාගාරයේ ඇති විශාල මොනිටරය මත දිස්වීම නිසා එමඟින් කාර්ය මණ්ඩලයට තම කාර්යයන් වඩා කාර්යක්ෂමව කර ගැනීමට පහසු වේ. එමඟින් ශල්‍ය වෛද්‍යවරුන්, ශල්‍ය වෛද්‍ය සහායකයන් ඇතුළු සියලු පාර්ශ්වයන්ට වඩාත් පහසු පරිසරයක් නිර්මාණය වේ.

ZEISS KINEVO 900 Neuro Microscopeහි PointLock නම් විශේෂිත රොබෝ පාලන පද්ධතියක් සහිත වන අතර, තවත් එවැනි නව විශේෂාංග කිහිපයකින් සමන්විත වේ. එමඟින් ශල්‍ය වෛද්‍යවරුන්ට ශල්‍යකර්මවලදී යම් ලක්ෂ්‍යයක් කෙරෙහි අවධානය යොමු කිරීමට සහ නිවැරැදි ඉලක්කයට අන්වීක්ෂය ගෙන යෑමට හැකියාව දෙයි. PositionMemory මඟින් මොළයේ ප්‍රධාන ප්‍රදේශ විශාලනය කර බැලීමට හැකි වන අතර, QEVO® මෙවලම මඟින් ශල්‍ය වෛද්‍යවරුන්ට සංකීර්ණ ව්‍යුහයන් දෙස බැලීම සඳහා ඉඩ සලසයි.

 

නව අදහස දක්වන්න