SDB බැංකුව ඉකුත් වසරේ කැපී පෙනෙන වර්ධනයක | දිනමිණ

SDB බැංකුව ඉකුත් වසරේ කැපී පෙනෙන වර්ධනයක

ඉතා අභියෝගාත්මක ආර්ථික තත්ත්ව යටතේ වුව ද SDB බැංකුව නිමා වූ 2021 මූල්‍ය වර්ෂය තුළදී විශිෂ්ට මූල්‍ය ප්‍රතිඵල අත් කරගෙන ඇත. 2021 දෙසැම්බර් 31 වැනි දිනෙන් අවසන් වූ වසර සඳහා බැංකුවේ මුළු ලාභය රුපියල් මිලියන 909ක් වන අතර, එය පෙර වසරට සාපේක්‍ෂව මුළු ලාභයෙන් 9%ක වර්ධනයකි. 2021 දෙසැම්බර් 31 දායින් අවසන් වූ එම වර්ෂයේ සිව්වැනි කාර්තුවේ ලාභය පමණක් රුපියල් මිලියන 159ක් ලෙසින් වාර්තා වේ. ශුද්ධ පොලී ආදායමත් ඊට පෙර වසරවලට සාපේක්‍ෂව 11%කින්, එනම් රුපියල් බිලියන 6.7ක් දක්වා වර්ධනය වී ඇත. මුළු මෙහෙයුම් ආදායම පෙර වසරවලට සාපේක්‍ෂව 9%කින්, එනම් රුපියල් බිලියන 7.4 දක්වා වර්ධනය වී ඇත. SDB බැංකුව විසින් නිකුත් කර ඇති මුළු ණය ප්‍රමාණය ඊට පෙර වසරට සාපේක්‍ෂව 9%කින්, එනම් රුපියල් බිලියන 111.89ක් දක්වා වර්ධනය වී ඇති අතර, පසුගිය වසර තුළ රුපියල් බිලියන 65ක් බැංකු ගිණුම් 98,185ක් මඟින් ණය වශයෙන් බෙදා හරිනු ලැබ ඇත. ශුද්ධ අක්‍රීය ණය අනුපාතය (Non- Performing Loans) 2020 වසරේදී 1.79%ක් වූ අතර 2021 වසරේදී එය 1.49%ක් දක්වා අඩු වෙමින් සාධනීය වෙනසක් පෙන්වා ඇත. SDB බැංකුවේ සමස්ත වත්කම් ප්‍රමාණය 2021 මූල්‍ය වර්ෂය තුළ 15%කින්, එනම් රුපියල් බිලියන 147.8ක් දක්වා වර්ධනය වී ඇති අතර, තැන්පතු පරාසය පෙර වසරවලට සාපේක්‍ෂව 1%ක වර්ධනයක් පෙන්වා ඇත.

මේ පිළිබඳ අදහස් දක්වමින් වැඩ බලන ප්‍රධාන විධායක නිලධාරී නිරංජන් තංගරාජා මහතා මෙසේ පැවසීය. “ගෙවුණු 2021 මූල්‍ය වර්ෂය තුළ අපේ මූලික අරමුණ වන ක්‍ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත සේවා සැපයීම කෙරෙහි දැඩිව අවධානය යොමු කළා. එහිදී විශේෂයෙන්ම ව්‍යවසායිකාවන්ගේ සංවර්ධනය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වුවා. 2021 වසරේදී අප ලැබූ සාර්ථකත්වයට බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් සකස් කළ සැලසුම් හා ක්‍රමෝපායන් මූලික වශයෙන් හේතු වුණා. ඒ වගේම වසංගතය නිසා පැනවී තිබූ සීමා කිරීම් ලිහිල් වීමත් අපේ සාර්ථකත්වයට පිටිවහලක් වුණා.”

 

නව අදහස දක්වන්න