මී පැණි ගන්න අලුත් උපකරණයක් | දිනමිණ

මී පැණි ගන්න අලුත් උපකරණයක්

පාරම්පරික ක්‍රම භාවිත කරමින් මී පැණි ගැනීමෙන් මී මැසි පාලනය කරනු ලබන පිරිස් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙති. ප්‍රමිතියෙන් බාල වීම හා වසරකට වරක් පැණි ගැනීමට සිදු වීම නිසා සාර්ථක ආදායමක් උපයා ගත නොහැකි වීම මෙහිදී උද්ගත වන ප්‍රධාන ගැටලු වේ. එම නිසා ඉතා උසස් ගුණාත්මක බවින් යුක්ත මී පැණි දින 10ට වරක් ගත හැකි උපකරණයක් නිර්මාණය කිරීමට වැලිමඩ, කෙරදිඹුල මාවිතිකුඹුර පදිංචි ආර්.වී. රණසිංහ මහතා විසින් පියවර ගෙන තිබේ. එම උපකරණයට ජනාධිපති සම්මානය පවා හිමිව තිබේ.

ගොවිතැන අසාර්ථක වීම නිසා මී මැසි පාලනයට එක්ව සිටින රණසිංහ මහතා සිදු කළ අත්හදා බැලීමකදී මෙම උපකරණය මඟින් ඉතා ගුණාත්මක බවින් යුක්ත මී පැණි ගත හැකි බව ඔහු විසින් හඳුනා ගෙන තිබේ.

ඉවත දැමූ පොල් ගාන හිරමණයක තලය ඉවත් කරමින් එකී හැඬලය පාපැදි රෝදයක හබ් එකට සවි කර මෙම මී පැණි නිස්සාරණ උපකරණය නිපදවා තිබේ. ඌව පළාතේ මී මැසි පාලනය නව මාවතකට යොමු කිරීමේ අටියෙන් රණසිංහ මහතා විසින් නිපද වූ මී පැණි නව නිස්සාරණ උපකරණයට 2016 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සම්මානයක් පිරිනමා තිබේ.

තමන් නිපදවූ නව උපකරණය සම්බන්ධයෙන් එස්.වී. රණසිංහ මහතා අදහස් දැක්වූයේ මෙසේයි.

"මම පාරම්පරික ගොවි පවුලක ඉපදුනේ.එනිසා කුඩා කල සිටම ගොවිතැනට යොමු වුණා. නිසි වයසේ දි එම්.කේ. චන්ද්‍රාවතී සමඟ විවාහ වුණා. විවාහයෙන් පසු අපි දෙන්නා එක්ව ගොවිතැන් කළා. ගොවිතැන අසාර්ථක වූ නිසා බිරිඳ කිරි ගව පාලනයට යොමු වුණා. කිරි ගව පාලන‍යෙන් අතමිට සරු වුණාම නිවෙසේ කිරි අවශ්‍යතාවයත් ඉටු කර ගත්තා.

නිවෙස අවට පරිසරය මී මැසි පාලනයට සුදුසු බව වැටහුණා. ඒනිසා මුලින්ම මී මැසි පෙට්ටි දෙකක් මිලට ගෙන මී

මැසි පාලනයට පිවිසුණා. මී මැසි ජනපද පාලනය පිළිබඳව බණ්ඩාරවෙල බිඳුණුවැව මී මැසි ජනපද සංවර්ධන මධ්‍යස්ථානයෙන් පුහුණුවක් ගත්තා. ඉන්පසු ක්‍රමයෙන් මී මැසි ජනපද ප්‍රමාණයත් වැඩි කර ගත්තා. ඒත් පැණි නිස්සාරණය කළේ පාරම්පරික ක්‍රමයටයි. වසරකට වරක් මී පැණි ගැනීමත් මී මැස්සන් මරණයට පත් විමත් පාරම්පරික මී පැණි ගැනීමේ ක්‍රමයෙන් සිදුවෙනවා.

එසේම පැණිවලට මී ඉටි මිශ්‍ර වීම මත ප්‍රමිතියෙන් බාල විමත් නිසා අලෙවියේදී නිසි මිලක් ගැනීමේ ගැටලුවකුත් මතු වුණා. මේකට විසඳුමක් ගැන කල්පනා කළා. මී පැණි නිස්සරණ උපකරණයක් හරහා මෙම ගැටලුව විසඳා ගත හැකි බව මට වැටහුණා. ඒ අනුව වෙළෙදපොළේ ඇති අතින් කර කවන පොල් ගාන හිරමණයක ඇති ඉදිරිපස දැති සහිත මල් කොටස ඉවත් කළා. ඉන්පසු පාපැදියේ රෝද සවි වන හබ් එකට සවි කළා.

ඉන්පසු මී වදය සවි කර ගත හැකි දැල් සහිත ආවරණයක් සකසා එය භාජනයක් තුළට ඇතුළු කළා. ඉන්පසු හිරමණය කරකැවීමට ඇති හැඬලය කරකැවිමට පියවර ගත්තා. එසේ සකසා ගත් උපකරණය තුළට මී වදය ඇතුළු කර කරකැවීමත් සමඟම වදයට හානියකුත් නොවී පිරිසුදු මී පැණි නිස්සාරණ වෙන අන්දම දැක්කා. පාරම්පරික මී පැණි ගැනීමේදී මී වදය රාමුවෙන් කපා ඉවත් කර ගත යුතුයි. එවිට මී මැස්සාට මුල සිටම මී වදය නැවත බැඳිය යුතුයි.

එනිසාම මී මැස්සන් ඇතැම් විට ජනපදය අතහැර යනවා. ඒත් මගේ නිෂ්පාදනයෙන් සිදුවන්නේ දැතේ මී පැණි බිඳුවක්වත් තවරා

නොගෙන මී වද‍යෙන් සුරක්ෂිතව ප්‍රමිතියෙන් ඉහළ පැණි නිස්සාරණය කර ගැනීම. මී වදයට හානි නොවීම නිසා මී මැස්සියන්ට පහසුවෙන් හා කඩිසර ගතියෙන් මී පැණි එක්රැස් කර ගන්න පුළුවන්. දින 10ට වරක් පහසුවෙන් මී පැණි ගන්නවා. සිලෝන් බිස්කට් සමාගම විසින් 2016 වසරේ පොළොන්නරුවේ පැවැත් වු කෘෂි ප්‍රදර්ශනය හා අලෙවිසලට මගේ මේ මී පැණි නිස්සාරණ උපකරණය ඉදිරිපත් කළා.

එහිදි ඌව පළාතේ මී පැණි නිස්සාරණ උපකරණ නිෂ්පාදකයා ලෙසින් ප්‍රථම ස්ථානය හිමි වුණ. මැසි ජනපද දෙකකින් මී මැසි පාලනයට එක් වුණු මට අද වන විට මී මැසි ජනපද 50ක් පමණ තිබෙනවා. මගේ උපකරණය ශ්‍රී ලංකාවේම ප්‍රචලිත කිරීම මගේ අරමුණයි. පවුලේ ලොකු කුඩා සැමදෙනාම මගේ මී මැසි ජනපද පාලනයට සහය දෙනවා."

 කේ.ආර්.ආර්.රාජමන්ත්‍රී

නව අදහස දක්වන්න