රග්බි පරිපාලනය අත්හිටුවීමේ ගැසට් නිවේදනයට අතුරු තහනමක් ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම යළි සලකා බැලීම 12 දා | දිනමිණ

රග්බි පරිපාලනය අත්හිටුවීමේ ගැසට් නිවේදනයට අතුරු තහනමක් ඉල්ලා ගොනු කළ රීට් පෙත්සම යළි සලකා බැලීම 12 දා

ශ්‍රී ලංකා රග්බි ආයතනය අත් හිටුවමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම ලබන 12 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (04) තීරණය කළේය. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණය විනිසුරු මඬුල්ල හමුවේ මේ පෙත්සම් කැඳවනු ලැබිණි.

එහිදී පෙත්සමෙහි වගඋත්තරකරුවන් වෙනුවෙන් කිසිවකු අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඔවුන් වෙත නොතීසි දන්වා යැවීමට පෙත්සම්කාර පාර්ශ්වයේ ජනාධිපති නීතිඥවරයා එකඟත්වය පළ කළේය.

ශ්‍රී ලංකා රග්බි ආයතනය සහ එහි සභාපති එම්. රිස්ලි ඉල්යාස් විසින් මේ පෙත්සම් ගොනු කර තිබිණි.

ක්‍රීඩා සහ තරුණ කටයුතු හිටපු ඇමැති නාමල් රාජපක්ෂ, ක්‍රීඩා සහ තරුණ කටයුතු වත්මන් ඇමැති තේනුක විදානගමගේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අමල් එදිරිසූරිය ඇතුළු සත්දෙනකු මෙහි වගඋත්තරකරුවෝ වෙති. ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් රග්බි ක්‍රීඩාවේ පරිපාලන කටයුතු භාරව ක්‍රියා කරන බව පෙත්සමෙහි සඳහන් වේ.

බස්නාහිර පළාතේ රග්බි සංගමය සිය වාර්ෂික සාමාජික මුදල් නොගෙවීම නිසා එය අත්හිටුවීමට පියවර ගන්නා ලෙස ක්‍රීඩා ඇමතිවරයා 2019 වසරේදී ශ්‍රී ලංකා රග්බි ආයතනයට උපදෙස් දුන් බව පෙත්සමෙහි සඳහන් වේ.

එම වසරේදීම එම මුදල් සියල්ල ගෙවූ බස්නාහිර පළාත් රග්බි සංගමය අදාළ රිසිට් පත් සියල්ල ඉදිරිපත් කළ අතර, එම කරුණු ක්‍රීඩා ඇමතිවරයාට ද ඉදිරිපත් කළ බව පෙත්සමෙහි දැක්වේ. එම හේතුව නිසා බස්නාහිර පළාත් රග්බි සංගමය අත්හිටුවීමට පියවර නොගත් බව පෙත්සමෙහි සඳහන් වේ. එසේ තිබියදී 2022 පෙබරවාරි 23 වැනිදා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලිපියක් යවමින් දන්වා ඇත්තේ මෙකී කරුණු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ඉල්ලා ඇති බව ය. එහෙත් නීතිපති උපදෙස් ගැනීමකින් තොරව ක්‍රීඩා ඇමැතිවරයා ශ්‍රී ලංකා රග්බි ආයතනයේ බලපත්‍රය තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර, අප්‍රේල් මස 01 වැනිදා ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ බවද සඳහන් වේ. ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා මහතා සහ නීතීඥ කීර්ති තිලකරත්න මහතා පෙත්සම වෙනුවෙන් පෙනී සිටියහ.

නෙල්කා මැදගෙදර

නව අදහස දක්වන්න