රටේ නීතිය ජනපති හා අගමැතිට ඉහළින් පැවතිය යුතුයි | දිනමිණ

රටේ නීතිය ජනපති හා අගමැතිට ඉහළින් පැවතිය යුතුයි

කාදිනල් හිමි

අප රටේ නීතිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට හසුරුවන්නට පුළුවන් ආකාරයට සකස් වී තිබීම කනගාටුදායක බවත්, එය ඔවුන්ට ඉහළින් පැවැතිය යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.

උන් වහන්සේ එසේ පැවසුවේ ශුධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ආරාධනය පරිදි වතිකානය වෙත ගොස් යළි පැමිණෙමින් සිටින අතරවාරයේ කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ඊයේ (04) පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමිපාණෝ මෙසේ ද පැවසූහ.

"ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත අපගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කළා. ඒ සඳහා ඉතාලියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් ද සහභාගී වුණා.එහිදී පාප් වහන්සේ රටේ නායකයන්ගෙන් යුක්තිය ඉටු කරන ලෙස පැහැදිලි ඉල්ලීමක් කළා. ඒ නිසා රටේ වගකිව යුතු නායකයන් රට ගැන හිතලා වැඩ කරන්නට පුරුදු විය යුතුයි. ඒ වෙනුවට නාටක රඟපාලා වැඩක් නැහැ. හරියාකාරව ඒ වගකීම ඉටු කළ යුතුයි. එමෙන්ම ජාතීන් අතර විරසක වීම, ආගම් අතර විරසක වීම පසෙක ලා එක රටක් හැටියට ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතුයි."

කටුනායක ටී.කේ.ජී. කපිල

නව අදහස දක්වන්න