නිලගම නීලගිරි විහාරය එදා තිස්සාරාමය ද? | දිනමිණ

නිලගම නීලගිරි විහාරය එදා තිස්සාරාමය ද?

රටක අතීත ශ්‍රී විභූතිය කියාපාන සංස්කෘතික උරුමයන් රැක ගැනීම ජාතික වගකීමකි. එනමුත් අප රටේ එවැන්නක් දක්නට නොමැතිවීම බලවත් කනගාටුවට කරුණකි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ජාතික උරුමයන් රැසක් දක්නට ඇතත් එයින් වැඩි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී යෑමේ තත්ත්වයකට පත්ව තිබේ. එයට මූලික හේතුව වී ඇත්තේ මේ ස්ථාන කිසිදු ආකාරයකින් නඩත්තු නොවීමය.

එසේ විනාශ මුඛයට යමින් පවතින ඓතිහාසික පුරාවිදු බිමකි, මාතලේ දිස්ත්‍රික්කයේ කන්දපල්ල කෝරලයට අයත් ගලේවෙල නගරයට සැතපුම් හතරක් පමණ දුරින් පිහිටි නිලගම නීලගිරි රාජමහා විහාරස්ථානය. මේ සිද්ධස්ථානයට ඇත්තේ වසර දෙදහසකටත් වැඩි පැරණි ඉතිහාසයකි. මේ විහාරස්ථානය දිස්ත්‍රික්කයේ පැරණිම විහාරස්ථානය වන බව ද සඳහන් වේ.

මේ සිද්ධස්ථානය සම්බන්ධයෙන් ලේඛනගත තොරතුරු අල්ප වුවද පැතිර පවත්නා ජනප්‍රවාද අතිවිශාලය. ඒවායින් සමහරක් සත්‍ය සේ පිළිගැනීමට සාක්ෂි නැතත් ඇතැම් ජනප්‍රවාද සත්‍ය බවට අනුමාන කළ හැකිය.

නිලගම ගම්මානය පිළිබඳ පැරණිම ජනප්‍රවාදය වන්නේ අතීතයේ රාජසිංහ නමැති රජකු යටතේ නිලතල දැරූ පුද්ගලයන් කිහිප දෙනකු මෙහි සිටි බැවින් මේ ගම්මානය නිලගම නමින් හැඳින්වූ බවය. නමුත් ක්‍රිස්තු පූර්ව තුන් වැනි සියවසේ දෙවනපෑතිස් රජුගේ පාලන අවධියේදී මේ ස්ථානයේ සහ ඒ අවට වරින් වර ආගමික ස්ථාන ඉදිකර ඇති බවට සලකුණු හමුවී ඇත.

එමෙන්ම ක්‍රිස්තු පුර්ව පළමු වන සියවසේ වළගම්බා රජු මෙහි සැඟවී සිටිමින් ඔහු විසින් විහාරස්ථානයක් කර වූ බවත්, එහි නීල මහ තෙරුන් වහන්සේ වැඩ සිටි බවත් ජනප්‍රවාදයක දැක්වේ.

ඒ අනුව මේ ගම්පියස නිලගම යනුවෙන් හැඳින්වූ බව ද පැවසේ. වළගම්බා රජු මේ ප්‍රදේශයට පැමිණෙන අවස්ථාවේ රත්නායක මුදියන්සේ, දිසානායක මුදියන්සේ සහ මුදියන්සේරාල යන තිදෙනා මෙහි පදිංචිවී සිට වළගම්බා රජු පැමිණීමෙන් පසු මොවුන් ඒ ආසන්න ගම්මාන වන අලුත්වැව, ආදාගල සහ ඉණිහාමිනේගම පදිංචියට ගොස් ඇති අතර, ඒ වන විට මොවුන් ද මේ ස්ථානයෙහි විහාරයක් කර තිබු බවට ජනප්‍රවාදවල දැක්වේ.

විහාරස්ථ භූමියේ බටහිරින් ඇති කඳු මුදුනේ විහාරයක නටබුන් මේ වන විට දක්නට ඇත. එබැවින් මෙම විහාරය වළගම්බා රජු විසින් ඉදිකරන්නට ඇතැයි විශ්වාස කෙරේ. තවද මේ කන්දෙහි නැඟෙනහිර බෑවුමේ ඇති ගල් ලෙන් හතරක් දේවානම්පියතිස්ස රජු විසින් පිළිසකර කර ඇත. මේ විහාරස්ථ භූමියෙහි වසර පන්සීයක් පමණ පැරණි බෝධියක් ද දක්නට ඇති අතර, දැනට මේ බෝධීන් වහන්සේ ප්‍රදේශවාසීන්ගේ වන්දනාමානයට ද ලක්වෙයි.

මෙයට නුදුරින් ගරා වැටුණු චෛත්‍යයක නටබුන් දක්නට ඇත. මේ විහාරස්ථානයේ චිත්‍ර මහනුවර යුගයේ නිර්මාණය වූ බවට වෙනත් සිද්ධස්ථානවල චිත්‍ර සහ ප්‍රතිමා සමඟ සැසඳීමේදී නිගමනය කළ හැකිය. මේ ගම්මානයෙහි ඇති විශේෂත්වය වන්නේ අතීතයේ සිට මේ දක්වා අඛණ්ඩව එකම පරපුරකට අයත් චිත්‍ර ශිල්පීන් සිටින එකම ගම්මානය මෙය වීමය. දඹුල්ල විහාරයේ චිත්‍ර ඇඳීම සඳහා ආරම්භයේදී වළගම්බා රජු ද, පසුව පොලොන්නරුව යුගයේදී නිශ්ශංකමල්ල රජු ද මේ ගම්මානයෙන් චිත්‍ර ශිල්පීන් කැඳවාගෙන ගොස් ඇත. ඒ සඳහා මේ නිලගම ගම්මානය ගම්වරයක් වශයෙන් මොවුන්ට වළගම්බා රජු විසින් දී ඇත.

මේ වන විට ද මේ ගම්මානයේ එම චිත්‍ර පරපුරට අයත් පවුල්වල සාමාජිකයන් සිටිති. එදා සිට මේ ගම්මානය නිලගම ලෙස හැඳින්වෙන බව මොවුන්ගේ මතයයි.

දැනට මෙම නිලගම ලෙන් විහාරයේ පවතින චිත්‍ර සියල්ල ගමේ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණ බව ද මොවුන් වැඩිදුරටත් සඳහන් කරයි. විහාරස්ථ භූමියේ දක්නට ඇති ක්‍රිස්තු වර්ෂ හය වැනි සියවසට අයත් දෙවැනි මුගලන් (දලමුගලන්) රජුගේ සෙල්ලිපියක් ඇති අතර, එය මේ වන විට විනාශ වෙමින් පවතී. එම ස්ථානය හඳුන්වා ඇත්තේ "නිලගම තිස්සාරාමය" යනුවෙනි.

වංශකථාවල ද මෙම ස්ථානය ගැන සඳහන්වී තිබේ. තව ද මේ ස්ථානයේ ඇති ගල් කුළුවල මෙන්ම ගල් තලාවේ ද දක්නට තිබෙන සෙල්ලිපි සම්බන්ධයෙන් විධිමත් ගවේෂණයක් සිදු කළහොත් මේ විහාරස්ථානය පිළිබඳ යම්කිසි ස්ථිර නිගමනයකට පැමිණිය හැකිය.

ගල් කුළුවලින් ගහණ මේ විහාර භූමිය මැදිවී ඇත්තේ කුඩා කඳුගැට කිහිපයකටය. අතීතයේ මේ කඳු මුදුන් මත චෛත්‍ය ඉදිකර තිබී ඇති අතර, දැනට ඒ සියල්ල ගරා වැටී තිබේ. එමෙන්ම නිධන් සොරුන් විසින් මේ වටිනා පුරාවස්තූන් වරින් වර විනාශ කර ඇත. ඒ සියල්ල මේ වන විට පසට යට වෙමින් පවතී.

මේ ස්ථානයෙහි ඇති සෙල්ලිපි ද මේ නිධන් සොරුන්ගේ ග්‍රහණයට හසුවීමෙන් ඉතා වටිනා අතීත තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකිව තිබු පුරා වස්තූන් රැසක් ද අහිමිවී ඇත. මේ අතර දැනට මේ විහාරස්ථානයෙහි දක්නට ඇති ප්‍රතිමා සියල්ල දුර්වර්ණවී ගොස් තිබේ. එමෙන්ම බදාම මත ඇඳ ඇති බිත්ති චිත්‍ර මෙන්ම වියන් චිත්‍ර ද විනාශ වෙමින් පවතී.

ක්‍රිස්තු පූර්ව යුගයේ ඉදිකරන ලද රංගිරි දඹුලු ලෙන් විහාරය ඇතුළු ප්‍රදේශයේ ඓතිහාසික ස්ථාන රැසකට සමකාලීනව මේ විහාරස්ථානය ද ඉදිකර ඇත. මේ ස්ථානය කේන්ද්‍ර කර පුරාවිද්‍යාත්මක ගවේෂණයක් සිදු කළොත් ඉතා වටිනා ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වෙතැයි ගිහි පැවිදි උගතුන් ද පවසයි.

මේ සම්බන්ධයෙන් මෙහි විහාරාධිපති මඩහපොල ගුණරතන නාහිමියන් පවසන්නේ පුරාවිද්‍යා නිලධාරීන් මේ ස්ථානයට ඉඳහිට පැමිණියත් විනාශ වෙමින් පවතින පුරාවස්තූන් රැක ගැනීමට කිසිදු පියවරක් නොගන්නා බවය. “මේ ස්ථානය සම්බන්ධයෙන් ගවේෂණයක් සිදු කළොත් අනුරාධපුර යුගයේ මෙතෙක් හෙළි නොවු ඉතා වටිනා ඓතිහාසික තොරතුරු රැසක් අනාවරණයකර ගැනීමට හැකිවේවි.” නාහිමියෝ වැඩිදුරටත් පවසති.

ගලේවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇම්. ජී. දිසානායක මහතා, “නීලගිරි විහාරස්ථානය ඉපැරණි ඓතිහාසික ස්ථානයක්. මේ ස්ථානය සම්බන්ධ ජනප්‍රවාද රැසක් තිබෙනවා. නමුත් මේ ජනප්‍රවාද සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකියි. මෙහි ඇති සෙල්ලිපිවලින් යම්කිසි තොරතුරක් අනාවරණය කරගත හැකි නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ ගැන කිසිදු සැලකිල්ලක් දක්වා නෑ. මේ වන විට මේ ස්ථානය විනාශ වෙමින් පවතිනවා. එනිසා මේ ඓතිහාසික ස්ථානය රැක ගැනීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානය යොමුකිරීම අත්‍යවශ්‍යයි.”

 ඒ. ඒ. එල්. ඩයස්

නව අදහස දක්වන්න