කබ්රාල්ට 23 දා උසාවි එන්නැයි නියෝග | දිනමිණ

කබ්රාල්ට 23 දා උසාවි එන්නැයි නියෝග

සිරන්ජනි කුමාරි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී බිලියන ගණනක වූ බව කියන අලාභයක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබන 23 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (5) නියෝග කළේය.

මේ නඩුව ඉකුත් 2 දා කැඳවීමට නියමිතව තිබූ අතර, එදින රජයේ නිවාඩු දිනයක් වූ බැවින් නඩුව මේ මස 23 දාට නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරයා විසින් තීරණය කර ඒ බව රෙජිස්ටාර්වරයා හරහා දැනුම් දී ඇත.

ඒ අනුව සැකකරු වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම මැයි 23 දා දක්වා දිර්ඝ කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා ඔහුට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් දෙවන වරටත් සිතාසි නිකුත් කර තිබේ.

දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ 136 1(අ) වගන්ති ප්‍රකාරව කරන ලද පෞද්ගලික පැමිණිල්ල මත මේ නඩුව කැඳවිණ.

අධිකරණය මඟින් සිතාසි නිකුත් වුව ද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉකුත් නඩු දිනයේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඒ සඳහා නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

නීතිඥවරයා එදින අධිකරණය හමුවේ සඳහන් කරනු ලැබුවේ මේ පෞද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් විරෝධතා ගොනු කරන බවය. සපරාධි විශ්වාසය කඩ කිරීම, බැංකුකරුවකු විසින් කරන ලද සපරාධි විශ්වාසය කඩ කිරීම, සාවද්‍ය පරිහරණය හා 1937 අංක 7 ආඥාවේ 56 ආ වගන්ති ප්‍රකාර වරද සිදු කිරීම යන චෝදනා නඟමින් පෞද්ගලික පැමිණිලිකරුවකු විසින් කළ දිවුරුම් ප්‍රකාශය මඟින් කරුණු ඉදිරිපත් කර තිබිණ.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2015 හා 2016 වසරේ කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේ දී වු අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ කොමිෂන් සභා වාර්තාව අනුව 2005 සිට 2015 කාලයේදි රුපියල් බිලියන 10.4 සිට 10.6 දක්වා අලාභයක් අත්විද ඇත්තේ බහුතර කාලයක් කබ්රාල් යන අය මහ බැංකු අධිපති ලෙස ක්‍රියා කළ කාලයේ බවට වෝහාරික විගණන සාක්කි ද දක්වා අවධාරණය කර තිබිණ.

 

නව අදහස දක්වන්න