බලය පෙන්වීමට තිබුණු අවස්ථාවක් සජබය අත් හැරියා - මන්ත්‍රී දයාසිරි ජයසේකර | දිනමිණ

බලය පෙන්වීමට තිබුණු අවස්ථාවක් සජබය අත් හැරියා - මන්ත්‍රී දයාසිරි ජයසේකර

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බලය පෙන්වීමට තිබුණු හොඳම අවස්ථාව සමඟි ජන බලවේගය අත්හැරිය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ඊයේ (5) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා රංජිත් සියඹලාපිටිය මහතාගේ නම යෝජනා කිරීමට සමඟි ජන බලවේගය සමඟ පැවති එකඟතාව ඊයේ (5) උදෑසන 9.30ට පමණ වෙනස් කිරීම නිසා මෙවැන්නක් වූ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් රංජිත් සියඹලාපිටිය මහතාගේ නම නියෝජ්‍ය කථානායක ධුරය සඳහා යෝජනා කිරීමටත්, රාජිත සේනාරත්න මහතා විසින් එම යෝජනාව ස්ථිර කිරීමටත් කතිකා කර ගෙන තිබියදී ඊයේ පෙරවරුවේ රංජිත් සියඹලාපිටිය මහතාගේ නම වෙනුවට වෙනත් නමක් යෝජනා කරන්නැයි සමඟි ජන බලවේගය සඳහන් කළ බව ද මන්ත්‍රීවරයා කීවේය.

ඡන්ද විමසීමට සුළු මොහොතකට පෙර එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වුවත් පක්ෂයක් වශයෙන් ගත් තීරණය වෙනස් කිරීමට නොහැකි නිසා කතා කර ගත් පරිදි නියෝජ්‍ය කථානායක ධුරය සඳහා රංජිත් සියඹලාපිටිය මහතාගේ නම යෝජනා කළ බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රන්මලී සෝමසිරි

නව අදහස දක්වන්න