මොංගෝලියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය පාලිත කොහොන අක්ත පත්‍ර පිළිගන්වයි | දිනමිණ

මොංගෝලියාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආචාර්ය පාලිත කොහොන අක්ත පත්‍ර පිළිගන්වයි

මහින්ද අලුත්ගෙදර

මොංගෝලියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් අක්ත ගන්වන ලද ආචාර්ය පාලිත කොහොන මහතා එරට ජනාධිපතිවරයා වෙත අක්ත පත්‍ර පිළිගන්වා තිබේ.

ඒ අනුව මොංගෝලියාවේ ජනාධිපති කුරේල්සුක් උක්නා මහතා වෙත සිය අක්තපත්‍ර ලිපිය පිළිගන්වා තිබේ. මේ අක්තපත්‍ර පිළිගැන්වීමේ උත්සවය රාජ්‍ය මන්දිරයේදී පවත්වා තිබෙන බව ද, එහිදී චාරිත්‍රානුකූල ආචාර පෙළපාලියක් නිරීක්ෂණය කළ තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා අනතුරුව ජනාධිපති කුරේල්සුක් උක්නා මහතා සමඟ පැවති දීර්ඝ හමුවකට සහභාගි වී තිබෙන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මේ හමුවේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උණුසුම් සුබපැතුම් මොංගෝලියාවේ ජනාධිපතිවරයා වෙත පළ කළ තානාපතිවරයා, සංචාරක සීමා ලිහිල් කිරීමෙන් අනතුරුව රාජ්‍ය සංචාරයක නිරත වීමෙන් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් තහවුරු කරගැනීමට යෝජනා කර ඇත.

ආසියානු සහ පැසිෆික් කලාපයේ නියෝජ්‍ය ඇමැතිවරයා සහ අධ්‍යක්ෂවරයා ද හමු වූ තානාපති පාලිත කොහොන මහතා ඩෑඩ් හම්බාලාමා ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිවරයා හමුවීමට ද කටයුතු කර තිබේ.

සංචාරය සඳහා අග්නිදිග ආසියාවට නිරන්තරයෙන් පැමිණෙන මොංගෝලියානු සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව සාකච්ඡා කළ තානාපතිවරයා තේ පානය මධ්‍යම පාන්තිකයන් අතර නව ප්‍රවණතාවක් බවට පත් වෙමින් තිබෙන හෙයින්, තේ අපනයනය ඉහළ නැංවීමේ අවශ්‍යතාව පිළිබඳව ද සඳහන් කර ඇත. පසුව උලෑන් බාටර්හි පිහිටි ලංකා තේ (Naira) අලෙවි කරන ජනප්‍රිය වෙළෙඳසලක සංචාරයක නිරත වූ තානාපතිවරයා ලංකා තේ බෙදාහරින්නකු ද හමු වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නව අදහස දක්වන්න