භාෂා ප්‍රේමීන්ගේ ගෝල්ෆේස් අරගලය | දිනමිණ

භාෂා ප්‍රේමීන්ගේ ගෝල්ෆේස් අරගලය

අගමැති බණ්ඩාරනායක මහතා ගෝල්ෆේස් ජනතාව අමතමින්.

1952 මහ මැතිවරණයෙන් ජය ගත් මැති ඇමැතිවරුන්ට එතැන් සිට පස් අවුරුද්දක් එනම් 1957 දක්වා බලයේ රැඳී සිටීමට හැකි වුව ද, ඊට වසරකට පෙර 1956 දී පාර්ලිමේන්තුවෙන් පිටවී යන්නට සිදු විය. එනිසා මෙරට ඡන්ද අපේක්ෂකයන්ට 1956 දී මහ මැතිවරණයකට මුහුණ දීමට සිදු විය. නියමිත කාලයට පෙර මෙලෙස මන්ත්‍රී මණ්ඩලය විසුරුවා හැරීමට සිදු වූයේ භාෂා ප්‍රශ්නය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ තුළ මෙන්ම ජනතාව තුළත් උද්ගත වූ කලබලකාරී තත්ත්වයයි.

ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා මහතා පාර්ලිමේන්තුවට (එදා, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට) යෝජනා කර සිටියේ සිංහල සහ දෙමළ යන භාෂා දෙකම මෙරට රාජ්‍ය භාෂාව ලෙස නම් කළ යුතු බවය.

1952 මාර්තු 26 වැනිදා නිදහස් ශ්‍රී ලංකාවේ දෙවැනි අගමැතිවරයා වශයෙන් ඩඩ්ලි සේනානායක මහතා දිවුරුම් දී තනතුරේ වැඩ භාර ගත්ත ද රෝගී තත්ත්වයක් හේතුවෙන් 1953 ඔක්තෝබර් 12 වැනි දින හෙතෙම අගමැති ධුරයෙන් ඉල්ලා අස් වූයේය. අනතුරුව අගමැති ධුරයට පත් සර් ජෝන් කොතලාවල මහතා 1954 සැප්තැම්බරයේදී යාපනයේ සංචාරයක නිරත වූයේය.

යාපනයේ කොකුවිල් නගරයේ පැවති රැස්වීමකට සහභාගි වෙමින් ඇමැති සර් ජෝන් කොතලාවල පැවසුවේ සිංහල භාෂාවට මෙන්ම දෙමළ භාෂාවටත් රාජ්‍ය භාෂා තත්ත්වයක් ලැබෙන පරිදි තමන් හැකි ඉක්මනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නීති සම්පාදනය කරන බවය. අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය සිංහල භාෂා ප්‍රේමීන්ගේ දැඩි උදහසට හේතු විය.

එතෙක් සිංහල සහ දෙමළ යන භාෂා දෙකටම රාජ්‍ය භාෂා තත්ත්වයක් දිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතු යැයි යන ප්‍රතිපත්තියට මාරු විය. මෙලෙස සිය භාෂා ප්‍රතිපත්තිය වෙනස් කරමින් සිංහල පමණක් ප්‍රතිපත්තිය සිය පක්ෂවල නිල භාෂා ප්‍රතිපත්තිය බවට ද පත් කර ගත්තේය. (Sri lanka 50 year of independence පිටුව 29 සහ අර්බුදයේ අන්දරය පිටුව - 59)

අගමැති සර් ජෝන් එලෙස පැවසුව ද සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාවට පක්ෂව ජනතාව තුළ වර්ධනය වෙමින් ආ ජනරැල්ල නිසා එජාපය සිංහල පමණක් රාජ්‍ය භාෂාව කිරීමේ යෝජනාව සම්මත කර ගත්තේ 1956 පෙබරවාරි 18 වැනිදා කැලණියේ පැවති එජාප රැස්වීමකදීය. මෙනිසා එතෙක් එජාපයේ රැඳී සිටි දෙමළ භාෂාව කතා කරන මන්ත්‍රීවරු පක්ෂයෙන් ඉවත්ව ගියහ. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම විප්ලවකාරී සමසමාජ පක්ෂය ද සිංහල පමණක් රාජ්‍ය භාෂාව විය යුතු යැයි කියා සිටියේය. ඒ වන විට ශ්‍රීලනිපයත්, ලංකා සමසමාජ පක්ෂයත් එළැඹෙන මහ මැතිවරණයේදී එකිනෙකා අතර තරගයක් නොවීමේ ගිවිසුමකට ද එළඹ සිටියේය.

එජාපය විසින් කැලණියේදී සිංහල පමණක් රාජ්‍ය භාෂාව කරන යෝජනාව සම්මත කිරීමට සැලසුම් කරන විටම එය දැනගත් කොතලාවල ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු වූ (කන්කසන්තුරේ මන්ත්‍රී) ගුවන්විදුලි හා තැපැල් ඇමැති ඇස්. නඩේසන් මහතා එජාපයෙන් ඉල්ලා අස් වූයේය.

මේ හේතුන් මත අගමැති කොතලාවල පාර්ලිමේන්තුව විසුරුවා හරින්නැයි ආග්‍රාණ්ඩුකාරවරයාට උපදෙස් දුන්නේය. ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරුණු අතර ඊළඟ මහ මැතිවරණය 1956 අප්‍රේල් මස 5, 7සහ 10 යන තෙදින පැවැත්විය යුතු බවටත් දින නියම කෙරිණි.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් ශ්‍රීලනිපය සමඟ ඩබ්ලිව් දහනායකගේ භාෂා පෙරමුණ සහ පිලිප් ගුණවර්ධනගේ නායකත්වයෙන් විප්ලවකාරී සමසමාජ පක්ෂය එක්ව ඡන්දයට මුහුණ දුන්නේ මහජන එක්සත් පෙරමුණ නමිනි. 1956 මහ මැතිවරණයට ඡන්ද අපේක්ෂකයෝ 249ක් ඉදිරිපත්ව සිටියහ.

දින තුනක් තිස්සේ පැවති මහ මැතිවරණයෙන් ජය ගත්තේ බණ්ඩාරනායක මහතා නායකත්වය දුන් මහජන එක්සත් පෙරමුණ පක්ෂයයි. එම පක්ෂය ආසන 60කට තරග කළ අතර ඉන් ආසන 51ක්ම ජය ගෙන තිබිණි. බණ්ඩාරනායක මහතා ජය ගෙන තිබුණේ වැඩි ඡන්ද 41977කිනි. මෙරට සිවු වැනි අගමැති ලෙස එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා දිවුරුම් දුන්නේ 1956 අප්‍රේල් 12 වැනිදාය.

මහජන එක්සත් පෙරමුණ ආණ්ඩුව කෙටි කලක් තුළ විශාල වැඩ කොටසක් ඉටු කළේය. කොළඹ වරාය සහ බස් ජනසතු කිරීම, සංස්කෘතික දෙපාර්තමේන්තුවක් ඇරඹීම, සේවක අර්ථසාධක අරමුදල බිහි කිරීම, කටුනායක සහ ත්‍රිකුණාමලයේ පැවති යටත් විජිත යුද කඳවුරු ඉවත් කර ගැනීම, මධ්‍යස්ථ විදෙස් ප්‍රතිපත්තියක් හඳුන්වා දීම, කුඹුරු පනත ඉදිරිපත් කිරීම, විද්‍යෝදය සහ විද්‍යාලංකාර පිරිවෙන් විශ්වවිද්‍යාල බවට පත් කිරීම ඒ අතර විය.

එහෙත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම පිළිබඳ වැඩපිළිවෙළ හේතුවෙන් විශාල කෝලාහල ගණනාවකට මැදි වීමට සිදු විය. 1956 ජුනි 05 වැනිදා රාජ්‍ය භාෂා පනත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

එදින ෆෙඩරල් පක්ෂ්‍ය ගාලු මුවදොර පිටියේ සත්‍යග්‍රහයක් ආරම්භ කළේය. සත්‍යග්‍රහයට සම්බන්ධ වූ පිරිසත් ගාලු මුවදොරට ආ සිංහල භාෂා ප්‍රේමීන් අතරත් ගැටුම් හට ගත් අතර ඒ හේතුවෙන් කිහිප දෙනකුට තුවාල සිදු විය. (එදා එසේ පහර කෑ අය අතර සිටි අප්පාපිල්ලෙයි අමිර්තලිංගම් පසු කලෙක දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා බවට පත් විය.)

පාර්ලිමේන්තුව අවට එදා පැවති උණුසුම් තත්ත්වය පරීක්ෂා කර බැලීමට අගමැති බණ්ඩාරනායක මහතා මන්ත්‍රීවරුන් කිහිප දෙනකු සමඟ පැමිණියේය. ඒ අතර භාෂා ප්‍රේමීහුද සත්‍යග්‍රහකරුවන්ට එරෙහිව ගාලු මුවදොර පිටියේ රැස්වීම් පවත්වන්නට වූහ. ඉන්පසු අගමැතිවරයාට ද ගාලු මුවදොරදී ජනතාව අමතා කතා කරන්නට සිදු විය.

ඉන් මාස හතකට පසු එනම් 1957 පෙබරවාරි 4 වැනිදා සිංහල රාජ්‍ය භාෂා පනතට එරෙහිව උතුරේත්, නැඟෙනහිරත් ෆෙඩරල් පක්ෂය මඟින් සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ කළේය. එදින එම ප්‍රදේශවලත් කලබල හටගත් අතර සිවිල් පරිපාලන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන සිටියේය.

කෙසේ වුව ද දෙමළ භාෂාවේ සාධාරණ භාවිතය සඳහා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රම වෙනසක් සඳහා කරුණු සොයා බලා වාර්තා කිරීම පිණිස පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කෙරිණි. එය දෙමළ නායකයන්ට දෙන ලද කිසියම් සංඥාවක් විය.

ගාලු මුවදොර කලබලය මැඬ පවත්වා වසරකට පසු එනම් 1957 ජුනි මාසයේදී ෆෙඩරල් පක්ෂය සමඟ සාකච්ඡා කිරීමටත්, රට සභා ක්‍රමයක් ඇතුළු ප්‍රතිසංස්කරණ ගණනාවක් සහිත වැඩපිළි‍වෙළක් සඳහා අගමැති බණ්ඩාරනායක මහතා ෆෙඩරල් පක්ෂ නායක චෙල්වනායගම් මහතා සමඟ එම ජුනි 27 වැනිදා අගමැති කාර්යාලයේදී ගිවිසුමකට අත්සන් තැබුවේය.

මෙම ගිවිසුම රට පාවා දීමක් ලෙස විග්‍රහ කළ එජාපයේ ජේ.ආර්.ජයවර්ධන මහතා එම සම්මුතියට විරෝධය පළ කරමින් කොළඹ සිට ශ්‍රී දළදා මාලිගාව දක්වා පා ගමනක් සංවිධාන කළේය. 1957 ඔක්තෝබර් 03 වැනිදා පස්වරුවේ කොළඹින් ඇරඹුණු පා ගමන පසු දින ඉඹුල්ගොඩ කන්දකැපූ තැනට ළඟා වෙද්දී මෝටර් රථ දෙකකින් මඟ අහුරා තිබිණි. ඉන් එක් මෝටර් රථයක හිමිකරු වූයේ ගම්පහ මන්ත්‍රී එස්.ඩී. බණ්ඩාරනායක මහතාය.

පා ගමනට ඉදිරියට යාම සඳහා පොලිසියෙන් අවසර නොලැබුණු බැවින් ඔවුනට ආපසු හැරී යාමට සිදු විය.

අනතුරුව එළඹුණු අප්‍රේල් මාසයේදී අගමැතිවරයා විසූ රොස්මීඩ් මන්දිරය ඉදිරිපිටට රැස්වුණු භික්ෂූන් වහන්සේලාත් ගිහියන් පිරිසකුත් එම ගිවිසුම ඉවත් කර ගන්නැයි විරෝධයක නිරත වූහ. එදින පස්වරුවේ ඇමැතිවරුන් කිහිප දෙනකු සමඟ එතැනට ගිය බණ්ඩාරනායක මහතා භික්ෂූන් වහන්සේලාට කන් දුන්නේය.

ලේක්හවුස් ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ ටාසි විට්ටච්චි මහතා සඳහන් කර ඇත්තේ අනතුරුව අගමැතිවරයා සිය නිවෙසට ගොස් සිය නායකයන් සමඟ සාකච්ඡා කොට තමන්ගේ තීරණය ලියා සෞඛ්‍ය ඇමැතිනි විමලා විජේවර්ධන මහත්මිය අතට දුන් බවය. බණ්ඩාරනායක චෙල්වනායගම් සම්මුතිය අවසන් වූයේ එපරිද්දෙනි.

තවත් මාස කිහිපයකට පසු 1958 දී ජාතිවාදී කෝලාහල ඇරඹිණි. ඒ ෆෙඩරල් පක්ෂයේ 5 වැනි සම්මේලනය වවුනියාවේදී අවසන් වීමත් සමඟය. මැයි 25 වැනිදා පොලොන්නරුව සහ හිඟුරක්ගොඩ රජයේ ගොවිපොළවලට මැරයෝ පහර දුන්හ. මඩකලපුවේ සිටි සිංහල ජනතාව ප්‍රහාරයට ලක් විය. මැයි 26 – 27 දෙදින කොළඹ හා කුරුණෑගලද හිංසාකාරී ක්‍රියා ඇරඹිණි. කලබල හේතුවෙන් 11 දෙනෙක් මරුමුවට පත්වූහ.

ජුනි 7 වැනිදා චෙල්වනායගම් මහතා නායකත්වය දැරූ ෆෙඩරල් පක්ෂයත්, කේ.එම්. පී. රාජරත්න මහතා නායකත්වය දැරූ ජාතික විමුක්ති පෙරමුණත් තහනම් කෙරිණි. චෙල්වනායගම් මහතා නිවාස අඩස්සියේ රැඳවිණි. කෝලාහල මැඬීම සඳහා හදිසි නීතිය පැනවීමට රජයට සිදු විය.

මේ හදිසි තත්ත්වය පාර්ලිමේන්තුවේදී විවාදයට ගැණිණි. එම විවාදයේදී මන්ත්‍රීවරුන් පැටලුණු අයුරුයි මේ.

දණ්ඩගමුව මන්ත්‍රී - අයි. එම්.ආර්.ඊරියගොල්ල :

“මම ළඟදි කියෙවුවා පොතක්. ඒකෙ නම ‘ද මෑන් විත් ත්‍රී ෆේසස්‘. (මුහුණු තුනක් ඇති මිනිසා) මොහු දෙවැනි ලෝක මහා සංග්‍රාමයට කලින් ජපාන දේශපාලනඥයන් සමඟ සම්බන්ධතා තිබූ කෙනෙක්. විනය පිළිබඳව අගමැතිතුමාට උපදෙස් දුන් ඔහු කැබිනට්ටුවේ ලේකම් තනතුරක් දැරුවා. ඔහු රුසියාවෙ සමහර ක්‍රියාකාරකම් ගැන චෝදනා කරමින් ඒ ගැන කැබිනට් මණ්ඩලයට උපදෙස් දුන්නා. අන්තිමේදී යුද්ධ සංවිධානය ගැන රුසියාව විසින් මෙහෙයවන ලද කුමන්ත්‍රණකරුවන් අතර මොහුත් සිටි බව හෙළි වුණා. මැද කොළඹ මන්ත්‍රීතුමාගෙ කතාව අහපු මට ඒ පුද්ගලයා ගැන මතක් වුණේ හේතුවක් ඇතිවයි. මම මේ කියන මන්ත්‍රීවරයා ජාතිභේද කුලභේද ඇති කරමින් මිනිසුන් තුළ ඇති නරක ගතිගුණ මතු කිරීම ඉතා නරකයි කියලා නිතර පවසන අයෙක්. හැබැයි ඔහු තමයි මේ අභාග්‍ය සම්පන්න සිංහල - දෙමළ කෝලාහල ඇති වෙන්නට දවස් දෙකකට කලින් කොම්පඤ්ඤ වීදියේ සාප්පු කඩන්නට මිනිස්සු උසි ගැන්නුවේ.”

මැද කොළඹ මන්ත්‍රී පීටර් කෙනමන් : 

‘ඒක සම්පූර්ණ අසත්‍යයක්.‘

මන්ත්‍රී ඊරිය‍ෙගාල්ල :

“ඒ මන්ත්‍රීවරයාත් තවත් කිහිප දෙනකුත් හයිඩ්පාක් එකේ පවත්වපු රැස්වීමකදී ඒ වැරදි වැඩවලට ජනතාවට උඩගෙඩි දී තිබෙනවා. ”

මන්ත්‍රී පීටර් කෙනමන් :

“දණ්ඩගමුවෙ මන්ත්‍රීවරයා ඒ රැස්වීමෙ හිටියෙ නෑ. කෝට්ටේ මන්ත්‍රීවරයා හිටියා. දෙහිවල ගල්කිස්ස මන්ත්‍රීවරයා හිටියා. මම කවුරුවත්ම පොලඹවන්න කටයුතු කළේ නෑ.”

මන්ත්‍රී ඊරියගොල්ල :

“එවැනි දේට මිනිස්සු උනන්දු කෙරෙවුවා.”

කෝට්ටේ මන්ත්‍රී රොබට් ගුණවර්ධන:

“ඒවා කළේ මෙයාගෙ කුලීකාරයො”

මන්ත්‍රී ඊරියගොල්ල :

“කට වහගන් තක්කඩියා”

විපක්ෂ නායක :

“තක්කඩියා කියන්න අවසර නෑ”

කථානායක :

“මන්ත්‍රීතුමා, ඒ වචනය ඉල්ලා අස්කරගන්න”

මන්ත්‍රී ඊරියගොල්ල:

“මම ඒ වචනය ඉල්ලා අස්කර ගන්නවා. ඉතිහාසයේ කවදාකවත් සිංහලයා මේ තරම් පහත් තත්ත්වයකට පත් වෙලා නෑ. මේ ආණ්ඩුවෙ නායකයා ෆෙඩරල් පක්ෂය නායකයා සමඟ ගිවිසුමකට ආවා. මේ ගිවිසුම නිසා උතුරුමැද පළාතේ ඉඩම් ලබා ගැනීමට සිංහලයාට බැරි වෙනවා. දෙමළ භාෂාව ජාතික භාෂාවක් හැටියට පිළිගන්නවා. ඊළඟට කලාප සභා ඇති කරනවා.”

අගමැති බණ්ඩාරනායක :

”ඔය කියන්නේ ඩේලි නිවුස් පත්තරේ ගිය ලියවිල්ලක් ගැන නේද?”

මන්ත්‍රී ඊරියගොල්ල :

“මොකෙන් හරි කමක් නෑ. මේවා පිළිගන්නේ නැද්ද?”

අගමැති බණ්ඩාරනායක:

“ඒ ගිවිසුම සම්පූර්ණයෙන්ම පත්තරවල පළ වුණා. ඉන් පිටස්තර දෙයක් නෑ.

යාපනය මන්ත්‍රී ජී.ජී. පොන්නම්බලම් (ද්‍රවිඩ සංගමය):

“යාපනයේ කිසිම ජීවිත හානියක් වුණේ නෑ.”

අගමැති බණ්ඩාරනායක :

“පොලිසියේ අය හැර...”

යාපනය මන්ත්‍රී පොන්නම්බලම් :

“සන්නද්ධ පිරිස එහාට ගියායින් පස්සෙ වූ දේ මා දන්නෙ නෑ. මං කීවෙ සිවිල් ජනතාවගේ ජීවිත හානි සිදු නොවූ බවයි.”

බන්ධුල ගුණරත්න

නව අදහස දක්වන්න