ඡන්දය දුන්නොත් උණ්ඩය | දිනමිණ

ඡන්දය දුන්නොත් උණ්ඩය

උදිත ගුණවර්ධන

අසූව දශකයේ අවසානය යනු රටම ගිනි කන්දක් කළ කාලයකි.1987 ජූලියේ ඉන්දු - ලංකා සාම ගිවිසුම නිසා ඇතිවූ මේ කලබලකාරී වටපිටාව වඩාත් භයානක කළේ නාඳුනන තුවක්කුකරුවන් විසිනි. ජනතා විමුක්ති පෙරමුණ තහනම් පක්ෂයක් බවට පත්ව තිබූ ඒ කාලයේදි නාඳුනන තුවක්කුකරුවන් පැමිණියේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නමිනි.

එවක උතුරේ ද තිබුණේ ඊට සමාන වාතාවරණයකි. එදා ජනපති රණසිංහ ප්‍රේමදාස මහතා සඳහන් කළේ රට දෙකොන පත්තු වුණු විලක්කුවක් බවය.රට තිබුණේ එතරම්ම භයානක තත්ත්වයකය. එවැනි වාතාවරණයක මැතිවරණයක් පැවැත්වීම යනු මරණය සමඟ කරන භයානක දෙයකි. උතුරේ සහ දකුණේ සටන්කරුවන් එක ලෙස විරෝධය පළ කරන මැතිවරණයක් පැවැත්වීම මෙන්ම එයට තරග කිරීම එක ලෙසම භයානකය.

අප රටට පළාත් සභා ක්‍රමය ඇති කරන ලද්දේ උතුරේ ගැටලුවට විසඳුමක් ලෙසය. එහෙත් ඒ කාලය වන විට බලය බෙදීම ගැන සමාජය තුළ තිබුණේ විශාල භීතියකි විරෝධයකි. ඒ කාලයේ දේශපාලනය සලකා බලන විට පෙනී යන කරුණක් වන්නේ එක්සත් ජාතික පක්ෂය තුළ පවා මේ ගැන ඒකමතික බවක් නොතිබූ බවය. හෝමාගම මන්ත්‍රී සහ ඇමැතිවරයකු වූ ගාමණි ජයසූරිය මහතා ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන්නේ පළාත් සභා ක්‍රමයට විරෝධය පළ කරමිනි.

එවක සිටි අගමැති ප්‍රේමදාස මහතා පවා ඒ වන විට සිටියේ පළාත් සභා ක්‍රමය ගැන අපැහැදීමකින් බවට එකල සමාජය තුළ රාවයක් මතුව තිබුණි .අනෙක් පසින් නිල විපක්ෂය වූ ශ්‍රීලනිපය ද වැඩ කළේ පළාත් සභා ක්‍රමයට එරෙහිවය. ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ද මේ ක්‍රමයට විරුද්ධ වූ අතර සරසවි පද්ධතිය සහ පාසල් පද්ධතිය වෙත ද ඔවුන්ගේ විරෝධය පතුරුවා තිබුණි. මතු පිටින් දෙපිලක සිටිය ද නිල විපක්ෂ සහ දේශප්‍රේමීන් අතර රහසිගත එකඟතාවක් හෝ අවබෝධයක් ඇතිව තිබුණි.

උතුරේ ගැටලුවට විසඳුමක් ලෙස ඇති කළ පළාත් සභා මැතිවරණය පවත්වන ලද්දේ කොටස් ක්‍රමයටය. එයට හේතුවක් බවට පත් වූයේ එවකට රට තුළ පැවැති අනාරක්ෂිත වාතාවරණයයි. එදා මේ මැතිවරණයට තරග කිරීම යනු සිය දිවි නසා ගැනීමක් බවට පත්ව තිබුණි. දේශප්‍රේමීන් ලෙස හඳුන්වා ගත් තරුණ සටන්කරුවන්ගේ එක් සටන් පාඨයක් වූයේ “ජන්දය දුන්නොත් උණ්ඩය“ යන්නයි.

අනෙක වූයේ “පළාත් සභා අපට එපා“ යන්නය. පළාත් සභා විරෝධි යුද්ධය ගමන් කළේ ඉහත කී සටන් මාර්ගය ඔස්සේය යන්න අතිශයෝක්තියක් නොවේ. පළාත් මැතිවරණයට දින නියම වීමත් සමඟ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මැතිවරණය වර්ජනය කරන ලෙස ඉල්ලීම් කළ අතර පාර්ලිමේන්තුව තුළ සිටි ශ්‍රීලනිපය සහ මහජන එක්සත් පෙරමුණ ද පළාත් සභා මැතිවරණය වර්ජනය කිරීමට තීරණය කර තිබිණි. ඒ සමඟ පාලක එජාපයට සිය ප්‍රබල ප්‍රතිවාදියා මඟ හැරුණි.

එජාපයට මුණ ගැසුනේ සමසමාජ, නව සමසමාජ, කොමියුනිස්ට් සහ ශ්‍රීලංකා මහජන පක්ෂය මූලික කර ගත් එක්සත් සමාජවාදී පෙරමුණය. ඔවුන්ගේ මැතිවරණ ලකුණ වූයේ මැටි පහනය. 1947 දී මෙන් එජාපය සහ වම දෙකට බෙදුණු ශ්‍රීලනිප නැති මේ මැතිවරණයට සුවිශේෂ කරුණු රැසක් ද එක්ව තිබුණි.

මේ මැතිවරණයේදී පීටර් කෙනමන්, බර්නාඩ් සොයිසා , බී.වයි. තුඩාවේ, වැනි වමේ නායකයෝ නැවත දේශපාලන බිමට අවතීර්ණ වූහ. මහජන පක්ෂය නියෝජනය කළ තරුණ කණ්ඩායම් ද වමේ පෙරමුණ මඟින් තරග බිමට පිවිසීමත් සමඟ එම මැතිවරණය ආණ්ඩු පක්ෂයේ පාළු ගෙයි වළං බිඳීමක් නොවී තරගකාරි මැතිවරණයක් බවට පත් විය. දකුණේදි, සබරගමුවේදී සහ බස්නාහිරදී ආණ්ඩුව ජය ගත්ත ද එය ආණ්ඩුව සිතූ තරම් පහසු දෙයක් නොවීය. එක්සත් ජාතික පක්ෂය, එක්සත් සමාජවාදී පෙරමුණට අමතරව ලිබරල් පක්ෂය වැනි කුඩා පක්ෂ ද තරග බිමට පිවිසුණි. ඔවුනටද යම් ආසන ප්‍රමාණයක් ලබා ගැනීමට හැකිවීම සුවිශේෂය.

එක් වරක් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් මහජන ආරක්ෂක පනත මඟින් මේ මැතිවරණය කෙටි කලක් පසුපසට තල්ලු කළ අතර ඒ අනුව සබරගමුව, ඌව, වයඹ සහ උතුරුමැද මැතිවරණය 1988 අප්‍රේල් 28 දා පැවැති අතර බස්නාහිර මැතිවරණය ජූනි 2 සහ දකුණු මැතිවරණය ජූනි 9 වැනිදා පවත්වන ලදි.

මේ මැතිවරණ ව්‍යාපාර කාලය තුළ එජාප මහ ලේකම් නන්දලාල් ප්‍රනාන්දු මහතා සහ මාතලේ ශ්‍රීලනිප නායකයකු වූ යාලේගම මහතා, ඝාතනයට ලක් විය.ඊට අමතරව ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ග්‍රාමීය නායකයන්, අපේක්ෂකයන් පමණක් නොව ජන්දය පාවිච්චි කිරීමේ වරදට ජන්දදායකයන්ගේ පපුවට ද නාඳුනන තරුණයන්ගේ තුවක්කුව එල්ල විය.ඒ තරමටම 1988 පළාත් මැතිවරණය මාරාන්තික තරගයක්ව තිබුණි. 

කලක් විරෝධය පළ වෙමින් තිබූ උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කර එක් පළාත් සභාවක් පිහිටුවීම සහ පැවැත්වීම සිදු කළ අතර එම මැතිවරණයට කොටි සංවිධානය ද දැඩි විරෝධය පළ කළේය. එහිදී ඊ. පී ආර්. එල්. එෆ්. පක්ෂය සහ දකුණේ වමේ පෙරමුණ අතර එකඟත්වයක් පැවැති අතර එම මැතිවරණයේදී ආණ්ඩුව පරාජය කරමින් ඊ.පී.ආර්.එල්.එෆ්. සන්ධානය ජය ගත් අතර උතුරු නැඟෙනහිර මහ ඇමැති ලෙස පත් වූයේ වර්ධරාජා පෙරුමාල්ය.

ඔහුගේ ඇමැති මණ්ඩලයේ සාමාජිකයකු ලෙස දයාන් ජයතිලක මහතා පත්විය. එය උතුරු නැඟෙනහිර පළාත් සභා ඉතිහාසයේ සුවිශේෂ කරුණකි උතුරේ ගැටලුවට විසඳුමක් ලෙස ලේ ගංගා මැද පිහිනමින් ඇති කළ පළාත් සභා ක්‍රමය දකුණේ ප්‍රදේශවල දිගටම ක්‍රියාත්මක වුව ද උතුරු නැඟෙනහිර පළාත් සභාව අවුරුදු දෙකක් ගත වීමට පෙර ප්‍රේමදාස මහතා විසින් සිය ජනාධිපති බලතල අනුව විසුරුවන ලදි.

2008 උතුරු සහ නැගෙනහිර පළාත් උසාවි නියෝගයකින් වෙන් කළ අතර ඉන්පසු මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව 2008 දී නැඟෙනහිර පළාත සඳහා මැතිවරණයක් පවත්වන ලදි. එහිදී ආණ්ඩුව සමඟ එක්ව තරග කළ සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් මහතා මහ ඇමැති බවට පත් විය.2011 දී උතුරු පළාත සදහා මැතිවරණය පැවැත්වූයේ ද රාජපක්ෂ ආණ්ඩුව විසින් වන අතර එහිදී විපක්ෂ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ විග්නේෂ්වරන් මහතා මහ ඇමැති බවට පත් විය.

1988 දී පළාත් සභා එපා යැයි කියූ සහ ඒ වෙනුවෙන් මිනිසුන් ඝාතනය කළ කණ්ඩායම් ඉන් පසුව පළාත් සභා තුළ ආණ්ඩුව සහ විපක්ෂ නියෝජනය කිරීම තුළ මෙරට දේශපාලනයේ සදාකාලික මිතුරු පිල් සහ සතුරු පිල් නොමැති බව නැවත නැවතත් තහවුරු විය.

නව අදහස දක්වන්න