බිංදුවට වැටුණු බිංදුමතී නඩුව | දිනමිණ

බිංදුවට වැටුණු බිංදුමතී නඩුව

ශ්‍රී ලංකාවේ ඕනෑම රජයක් බලයට පත් වීමට පෙර දෙනු ලබන ඉතා ජනප්‍රිය දේශපාලන පොරොන්දුවක් ලෙස, හොරු ඇල්ලීම සහ හොරකම වංචාව තුරන් කිරීම හැඳින්විය හැකිය. මෙය සෑම සංවර්ධනය වෙමින් පවතින රටකම දේශපාලන සංදර්භය තුළ දක්නට ලැබෙන ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකිය.

කෙසේ වුව ද ලෝක දේශපාලනය තුළ බොහෝමයක් තුන්වන ලෝකයේ රාජ්‍යයන් සමාජ හා ආර්ථික වශයෙන් අගාධයට යෑමට මූලිකම හේතුවක් ලෙස ද මහා පරිමාණ දූෂණ වංචා හා මුදල් විශුද්ධිකරණය බව එම රාජ්‍යයන් පිළිබඳ අධ්‍යයනයේදී අනාවරණය වී ඇත. ඒ අනූව ලෝකයේ හිටපු බොහෝ දේශපාලන නායකයන්ට මුදල් විශුද්ධිකරණය පිළිබඳ නඩු පැවරීම පිළිබඳ අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වී ඇත.

ශ්‍රී ලංකාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට ද හිටපු අගමැතිනිය ලෙස එවැනි නඩුවක් පැවරුණි. එම නඩුව ප්‍රසිද්ධියට පත් වූයේ “බිංදුමතී නඩුව“ ලෙසිනි. 70 දශකයේ මැතිනියගේ සමඟි පෙරමුණ ආණ්ඩුවේ කෘෂිකර්ම හා ඉඩම් ඇමැති ලෙස පත්ව සිටියේ හෙක්ටර් කොබ්බෑකඩුව මහතාය. ඉඩම් රජයට පවරා ගැනීමේ පනත ගෙන ආවේ ද ඔහුය. එය ඉතාමත් සමාජවාදී පනතක් ලෙස ජනතාවගේ කැමැත්තද ඊට හිමිවිය.

71 අප්‍රේල් අරගල සමයේ ප්‍රතිචාරයක් වශයෙන් මෙරටේ ඉඩම් අයිතිය ජනතාව අතට පත් විය යුතුයි යන්න සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ද ස්ථාවරය විය. බොහෝ අවස්ථාවන්හිදී විවිධ සාකච්ඡා හා කතාබහවලදී මැතිනිය ඒ පිළිබඳව තම අදහස් ඉදිරිපත් කළාය. ඒ වන විට දිවයිනේ අක්කර දහස් ගණන් ඉඩම් අයත්ව තිබුණේ විදේශ සමාගම්වලටය. ඒවා හඳුන්වන ලද්දේද රන් පවුම් වතු ලෙසය.

තේ වතු, රබර් වතු මෙන්ම පොල් වතු ද එවැනි විදේශ සමාගම්වලට අයත්ව තිබුණි. 1948 නිදහසින් පසු අධිරාජ්‍යවාදීන් රට හැර ගියද නාමිකව නිදහස ලබා දුන්න ද, මෙම රන් පවුම් වතු තිබුණේ අධිරාජ්‍යවාදීන්ගේ සමාගම් යටතේය.

1970 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සමගි පෙරමුණ ආණ්ඩුවට සහාය දුන් සිරිමා මැතිනිය ලාංකේය දේශපාලනයේ මතකහිටින යුගය බිහිකිරීමට නායකත්වය දුන්නාය. 1964 දී නොබැඳි ජාතීන්ගේ සමුළුවට නායකත්වය දුන්නේ ද ඇයයි. ඒ අනූව තුන්වැනි ලෝකයට නායකත්වය ලබා දෙමින් ආසියාව විශේෂයෙන්ම ඇය ඉන්දියානු සාගරය සාම කලාපයක් සඳහා වූ යෝජනා ඉදිරිපත් කළාය.

විශේෂයෙන් මෙරට ආර්ථික සම්පත්, සමාජ සම්පත් හැකිතාක් දුරට සාමාන්‍ය ජනතාවට ව්‍යාප්ත කිරීමට ඉඩම් සීමා පනත, නිවාස සීමා පනත හා ආදායම් සීමා පනත ගෙන එමින් සමාජ සාධාරණත්වය වෙනුවෙන් ඵෙතිහාසික පියවර ගැනීමට තම පාලන සමයේ මූලිකත්වය දැරුවාය.

1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමෙන් පසුව සිදු කෙරුණේ එතෙක් ලංකා රජය එංගලන්තයේ මහ රැජනට වගකිව යුතුව තිබුණු බැඳීම් ඉවත් කර ගැනීමය.

ඒ සමඟම මැතිනිය තැබු ප්‍රධානතම මුලික පියවර වූයේ ඉඩම් ජනසතුව ය. ඉඩම් අමාත්‍යවරයා ලෙස හෙක්ටර් කොබ්බෑකඩුව මහතාට එම වගකීම භාර දුන්නේ ද මැතිනියයි. ඒ අනූව ඉඩම් ජනසතු පනත ක්‍රියාත්මක වූ අතර ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ආරම්භ වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ‘රන් පවුම්‘ වතු සියල්ලම ඉඩම් කොමිෂන් සභාවට පවරා ගනු ලැබු අතර දේශීය සමාගම් සතුව තිබුණු විශාල වතුයායන් ද පවරා ගන්නා ලදි. පුද්ගලයින් සතු විශාල වතු ද පවරා ගැණිණි.

එක් පුද්ගලයකු සතුව තබා ගත යුතු ඉඩම් ප්‍රමාණය අක්කර පනහකට සීමා කරන ලදි. මේ කාල පරිච්ඡේදය වන විට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සතුව ඉඩම් අක්කර තුන්දහසක පමණ ප්‍රමාණයක් තිබුණු අතර, එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ හොරගොල්ල ඉඩමේ පොල් ඉඩම් අක්කර දහසකට වැඩි සංඛ්‍යාවක් තිබිණි. එය අයත්වූයේ ද මැතිනියටය.

ඉඩම් පනතට අනුව එම ඉඩම් ද කොමිසම වෙත දීමට සිදුවුණි. ඒ අනුව අක්කර පනහක සීමාවේ මැතිනිය ද සීමා වූවාය.

මේ කාලයේ ඉඩම් අහිමි වූ දහස් ගණනක් වූ ධනපතියන් තුළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කෙරෙහි වෛරයක් ඇති වී තිබුණි. මේ ධනපතියන්ගේ බලපෑමෙන් දේශපාලනික වශයෙන් කුමන්ත්‍රණකාරි ප්‍රහාරයක් එල්ල විය.

මෙහිදී මැතිනියට චෝදනා එල්ල වූ අතර මැතිනියගේ රජයට පවරා ගත් ඉඩම්වලට නියමිත තක්සේරුවට වඩා වැඩි විශාල මුදලක් මැතිනිය ලබා ගත් බව එම චෝදනාව විය. තක්සේරු මුදලට ඉදිරියෙන් බිංදු කීපයක් ලකුණු කර හොරෙන් මුදල් ලබා ගත් බවට චෝදනා කෙරිණි.

පාර්ලිමේන්තු විවාදයේදී මෙම චෝදනාව පරාජයට පත් විය.

නමුත් කුමන්ත්‍රණකරුවෝ ඉන් නොනැවතුනහ. 1977 ප්‍රතිගාමි බලවේග ඇය පරාජයට පත් කරන ලද අතර ඉන් නොනැවතී මැතිනියගේ ප්‍රජා අයිතිවාසිකම් අහිමි කිරීමට ද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ක්‍රියා කළේය. එය මෙරට දේශපාලනයේ අපකීර්තිමත් පරිච්ඡේදයක් බැව් සඳහන් කිරීම වැදගත් වේ.

ඉන් අනතුරුව ද පෙර පැවති චෝදනාවම එනම්, රජයට පවරා ගත් ඉඩම්වලට නියමිත තක්සේරුවට වඩා වැඩි විශාල මුදලක් මැතිනිය ලබා ගත් බව, එම චෝදනාවටම අධිකරණයේ නඩුවක් පවරන ලදි. ඒ, බින්දු ගණනක් වැඩියෙන් දමා කෝටි ගණනාවක මුදල් වංචාවක් කළ බවය. මේ නඩුව එවකට ප්‍රසිද්ධියට පත් වූයේ ‘බිංදුමතී නඩුව’ ලෙසය. නඩුව විභාග වූයේ මහනුවර දිසා අධිකරණයේදීය. නීතිඥ පරාක්‍රම රණසිංහ සහ නීතිඥ වික්‍රමරත්න යන මහත්වරු මැතිනිය වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ වන විට මැතිනිය වටා දේශපාලනඥයෝ පිරිවරාගෙන නොසිටියහ. ඒ බලය අහිමිව පැවතුණු හෙයිනි. කෙසේ වුව ද මෙම නඩුව ටික කලක් අධිකරණයේ විභාග වී පසුව ටික කලෙකින්ම අහෝසි වී ගියේය.

එම්. තාරික්

නව අදහස දක්වන්න