රාජගිරියේ රිය අනතුර: තර්ජන ඇත් නම් පැමිණිලි කරන්න | දිනමිණ

රාජගිරියේ රිය අනතුර: තර්ජන ඇත් නම් පැමිණිලි කරන්න

මහාධිකරණයෙන් දෙවැනි විත්තිකරුට නියෝග

රිය අනතුරක් කර පලා යෑම සම්බන්ධයෙන් අධි චෝදනා ලද හිටපු ඇමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු තිදෙනාට එරෙහි නඩුවේ දෙවැනි විත්තිකරුට යම් තර්ජනයක් එල්ල වන්නේ නම් ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානයකට හෝ නීතිය ක්‍රියාත්මක කරන ඕනෑම ආයතනයකට පැමිණිලි කරන්නැයි කොළඹ මහාධිකරණය එම විත්තිකරුට ඊයේ (6) නියෝග කළේය.

අදාළ පැමිණිල්ල භාර ගන්නා නීත්‍යනුකූල ආයතනය එම විමර්ශනය කර සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බව ද නියෝග කළේය.

නඩුවේ දෙවැනි විත්තිකරුට කොළඹ අපරාධ කොට්ඨාසයෙන් තර්ජන ඇති බවට ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා මේ නියෝගය නිකුත් කළේය.

දෙවැනි විත්තිකරු දරන ස්ථාවරය වෙනස් නොකරන ලෙසත්, එසේ වෙනස් කළහොත් නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම් කළ නොහැකි බවත්, ස්ථාවරය වෙනස් කළහොත් රිමාන්ඩ් ගත වීමට වන බවටත් දන්වා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියකු දුරකතනයෙන් තර්ජනය කර ඇති බව මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට පැමිණිලි කළේය.

දෙවැනි විත්තිකරුගේ ස්ථාවරය නඩුවේ සියලු චෝදනාවන්ට නිවැරැදිකරු යැයි ප්‍රකාශ කර තිබීම බව පෙන්වා දුන් මහාධිකරණ විනිසුරුවරයා ඔහුගේ වත්මන් ස්ථාවරය කුමක්ද යන්න පැහැදිලි නැති බවත්, කෙසේ වෙතත් දෙවැනි විත්තිකරු යම් මතයක් දරන්නේ නම් එය ඕනෑම පොලිස් ස්ථානයකට දීමේ අයිතිය ඔහු සතු බවත් පෙන්වා දුන් විනිසුරුවරයා එසේ ප්‍රකාශයක් දෙන්නැයි නියෝගයක් නිකුත් නොකරන බවත් ඔහුගේ අභිමතය පරිදිම එය කළ යුතු බවත් දන්වා සිටියේය.

ඊයේ මේ නඩුව කැඳවූ අවස්ථාවේදී පවතින වාතාවරණය අනුව අධිකරණ කාර්ය මණ්ඩලය නැති බැවින් නඩු විභාගය කල් තබන බව විනිසුරුවරයා දන්වා සිටියේය.

එම අවස්ථාවේදී අධිකරණයට කරුණු දැක් වූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා දන්වා සිටියේ දෙවැනි විත්තිකරුට කොළඹ අපරාධ කොට්ඨාසයේ නෙවිල් නමැති ස්ථානාධිපතිවරයෙක් දුරකතනයෙන් තර්ජනය කර ඇති බවය.

නෙවිල් යනුවෙන් හඳුන්වන්නේ ස්ථානාධිපතිවරයෙක් නොව කොළඹ අපරාධ කොට්ඨාසය විමර්ශන අංශ වැඩ බලන අධ්‍යක්ෂවරයා යැයි පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා නඩුවේ සිද්ධිය පිළිබඳ විමර්ශන කරන ආයතන පිළිබඳ අගතිගාමි මතයක් අධිකරණ මනස තුළ නිර්මාණය කිරීමට මෙවන් පැමිණිලි කරන බව සඳහන් කළේය. පැමිණිල්ලක් කරන්නේ නම් එම දුන් වේලාව දුරකතනය අංකය හෝ නිවැරැදි තොරතුරු ඉදිරිපත් කළ යුතු බව ද සඳහන් කළේය. මේ පැමිණිල්ල අභූත චෝදනාවක් බව ද සඳහන් කළේය.

එහිදී කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා නීතිපති දෙපාර්තුමේන්තුව වැරැදිකාරයෝ ආරක්ෂා කිරීම ඛේදවාචකයක් බව පැවසීය. දිලීප පීරිස් මහතා විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඉහත නියෝග නිකුත් කළේය.

රෝෂන් තුෂාර

නව අදහස දක්වන්න