ඉන්දුනීසියාවෙන් ශ්‍රී ලංකාවට මිලියන 540ක වෛද්‍ය උපකරණ | දිනමිණ

ඉන්දුනීසියාවෙන් ශ්‍රී ලංකාවට මිලියන 540ක වෛද්‍ය උපකරණ

ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 540ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් ඉන්දුනීසියානු රජය ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

වෛද්‍ය සැපයුම් හරහා ශ්‍රී ලාංකික ජනතාව වෙත මානුෂීය ආධාර පරිත්‍යාග කරන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදු කර ඇත. ඒ අනුව, ඖෂධ වර්ග 11ක් සහ වෛද්‍ය උපකරණ වර්ග 8ක් ඊට අයත් වන බව ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසීය.

මෙම මානුෂීය ආධාර තොගය භාර දීමේ උත්සවය සොකාර්නෝ හටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගපුර අපනයන ගබඩා ගොඩනැඟිල්ලේදී පවත්වා තිබේ. ඉන්දුනීසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඉන්දුනීසියාවේ සහ ආසියාන්හි ශ්‍රී ලංකා තානාපතිනී යසෝජා ගුණසේකර මහත්මිය වෙත භාර දෙනු ලැබ තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ එරට කාර්යාලය, ඉන්දුනීසියාවේ ඖෂධ සහ වෛද්‍ය උපකරණ සමාගම්වල නියෝජිතයන් සහ ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙම වෛද්‍ය උපකරණ තොගය ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානා මඟින් හෙට (08) මෙරටට ගෙන්වීමට නියමිතය.

මහින්ද අලුත්ගෙදර

නව අදහස දක්වන්න