පොදු රද මඬුලු යන රග්බි පිලේ පුහුණුකාරධුරයට නිර්දේශ දෙකක් | දිනමිණ

පොදු රද මඬුලු යන රග්බි පිලේ පුහුණුකාරධුරයට නිර්දේශ දෙකක්

හිටපු පුහුණුකරු නිල්ෆර් ඉබ්‍රාහිම් යළි පත් වෙයි‍

එළැඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ සත් සාමාජික රග්බි තරගාවලියට එක් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස රග්බි තාක්ෂණික කමිටුව සහ තේරීම් කමිටුව නම් දෙකක් නිර්දේශ කිරීම මතභේදයකට ලක් වී ඇතැයි වාර්තා වේ. කෙසේ වුවත් පුහුණුකරු නිර්දේශ කිරීමේ වගකීම තාක්ෂණික කමිටුවට අයත් කාර්යයක් බැවින් එම කමිටුව විසින් නම් කරනු ලැබූ නිල්ෆර් ඉබ්‍රාහිම් පුහුණුකරු ලෙස පත් කිරීමේ කිසිදු ගැටලුවක් නැතැයි තේරීම් කමිටුවේ අදහස වී තිබේ.

ඒ අනුව නිල්ෆර් ඉබ්‍රාහිම් පුහුණුකරු ලෙස පත් කර ඇති අතර, තේරීම් කමිටුව විසින් පසුව නිර්දේශ කරනු ලැබූ ෆාසිල් මරිජාට ඒ සඳහා අවස්ථාව ලැබී නැත.

පසුගිය වසරේ අගභාගයේ ඩුබායි නුවර පැවති ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේදී ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නිල්ෆර් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ රග්බි තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කරනු ලැබුවේ රග්බි තාක්ෂණික කමිටුව සහ හිටපු විධායක කමිටුව විසින් නම් කරනු ලැබීම හේතුවෙන් බව රග්බි පරිපාලනය බාරව කටයුතු කරන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ‘දිනමිණ’ට ප්‍රකාශ කළේය.

“කොමන්වෙල්ත් යන රග්බි ටීම් එකේ ප්‍රධාන පුහුණුකරු විදිහට නිල්ෆර්ගේ නම තේරුවේ තාක්ෂණික කමිටුවයි හිටපු විධායක කමිටුවයි. මම කළේ ඒක සහතික කරන එක විතරයි. පස්සේ වෙන පුහුණුකරුවකුගේ නමකුත් යෝජනා වුණා. ඒත් කලිින් නම් කරලා තියෙද්දී මට වෙන කෙනෙක් සහතික කරන්න බෑ.” අමල් එදිරිසූරිය මහතා කියා සිටියේය.

කෙසේ වෙතත් රග්බි තේරීම් කමිටුව විසින් ප්‍රධාන පුහුණුකරු ලෙස නිර්දේශ කරනු ලැබූ හිටපු නායක සහ මහනුවර ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ෆාසිල් මරිජාට අවස්ථාව නොලැබීම සම්බන්ධව පාර්ශ්ව කිහිපයක් විවිධ මත පළ කිරීම සම්බන්ධව තේරීම් කමිටු සභාපති අශෝක ජයසේන මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා කියා සිටියේ රග්බි පුහුණුකරු නම් කිරීම තේරීම් කමිටුවේ වගකීමක් නොවන බවය.

“අපෙන් පුහුණුකරු ලෙස නමක් නිර්දේශ කරන ලෙස ඉල්ලීමක් කර තිබුණා. ඇත්තටම අපි නෙවෙයි ඒක නිර්දේශ කරන්න ඕනා. ඒක තාක්ෂණික කමිටුවට අයත් කාර්යයක්. ඒත් අපෙන් අහපු නිසා අපේ අදහස අපි ලිඛිතව දැනුම් දුන්නා පමණයි. ඒක ගැටලුවක් නෙවෙයි. රග්බි පුහුණුකරු තේරීම අපේ වගකීමක් නොවන බවත් අපි එම ලිපියේ සඳහන් කළා.” තේරීම් කමිටු සභාපතිවරයා එසේ කීවේය.

වසර 2013දී ආසියා සත් සාමාජික රග්බි පිටියේ ශ්‍රී ලංකාව පළමුවරට තුන්වැනි ස්ථානය කරා රැගෙන ගිය නිල්ෆර් ඉබ්‍රාහිම් මෙරට පාසල් රග්බි පිටියේ අංක එකේ පුහුණුකරුවකු වන අතර, පාසල් කණ්ඩායම් රැසක් ශූරතා කරා මෙහෙයවීමේ කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියයි.

2007දී ධර්මරාජ විදුහලේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් එම විදුහලට ‘බී’ කාණ්ඩයේ ශූරතාව දිනා ගැනීමට මඟ පෙන්වූ නිල්ෆර්, 2008 දී කිංග්ස්වුඩ් විදුහලට ලීග් ශූරතාවත්, 2009දී පාසල් සත් සාමාජික ශූරතාවත් දිනා ගැනීමට ක්‍රීඩකයන්ට මං විවර කළේය. ත්‍රිත්ව විදුහල වසර 18කට පසු පිළිමලුන් පිටුදැකීමේ රග්බි ශූරතාව 2011දි දිනා ගත්තේ ඔහු යටතේය. 2014දී ඉසිපතතනය සත් සාමාජික, ලීග් සහ පිළිමලුන් පිටුදැකීමේ ශූරතා ත්‍රිත්වයම දිනාගත්තේ ද ඔහුගේ පුහුණුකාරීත්වයෙනි. 2016 දී ඉසිපතනය යළි පිළිමලුන් පිටුදැකීමේ කුසලානය දිනා ගැනීමට මඟ පෙන්වීමෙන් පසු සාන්ත ජෝසප් විදුහලේ පුහුණුකරු ලෙස එක් වූ නිල්ෆර් 2017දී ඉතිහාසයේ පළමුවරට සාන්ත ජෝසප් විදුහලට රග්බි කුසලානයක් දිනා ගැනීමට විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළේය. වසර 2011 සිට 2018 දක්වා ඔහු පුහුණුකරු ලෙස කටයුතු කළ සෑම පාසල් කණ්ඩායමක්ම පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීම විශේෂත්වයකි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා පිලේ පුහුණුකරු ලෙස හිටපු පුහුණුකරු සාලිය කුමාර කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ. මේ වන විට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 20 බැගින් මූලික වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතගත කර ඇති අතර, අවසන් කණ්ඩායම තෝරා ගැනීම ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

ෆවුස් මොහොමඩ්

නව අදහස දක්වන්න