පාසල් බාස්කට්බෝල් අවසන් සටනට ශුද්ධ වූ කන්‍යාරාමය සහ මහමායා | දිනමිණ

පාසල් බාස්කට්බෝල් අවසන් සටනට ශුද්ධ වූ කන්‍යාරාමය සහ මහමායා

බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය හා නුගේගොඩ සාන්ත ජෝන් විදුහල (රතු) අතර උණුසුම් සටනක්. ඡායාරූපය ප්‍රින්ස් ගුණසේකර

ලංකා පාසල් බාස්කට්බෝල් සංගමය සංවිධාන කරන දීප ව්‍යාප්ත අවුරුදු 20න් පහළ පාසල් බාස්කට්බෝල් තරගාවලියේ කාන්තා අංශයේ අවසන් මහා තරගයට බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය හා මහනුවර මහමායා බාලිකා විදුහල සුදුසුකම් ලබයි. මේ අවසන් මහා තරගය හෙට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාගාරයේ ඊයේ පැවති අවසන් පූර්ව වටයේ තරගවලදී බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය ලකුණු 85-31කින් නුගේගොඩ සාන්ත ජෝන් විදුහල පරාජය කළ අතර, යහපත් එඩේරාගේ කන්‍යාරාමය ලකුණු 45-41කින් මහනුවර මහමායා විදුහල හමුවේ පරාජය විය. යහපත් එඩේරාගේ කන්‍යාරාමය හා මහමායා අතර තරගය උණුසුම් මුහුණුවරක් ගත් අතර නියමිත කාලයේදී ලකුණු 39-39ක් ලෙස සම වීමෙන් තවත් අතිරේක මිනිත්තු 5ක කාලයක් දී ජයග්‍රාහකයා තෝරා ගැනිණි.

20න් පහළ පිරිමි අවසන් පූර්ව වටයට බම්බලපිටිය සාන්ත පීතර විදුහල, කොළඹ සාන්ත ජෝසප් විදුහල, කොළඹ රාජකීය විදුහල හා කොළඹ ඩී.එස්. සේනානායක විදුහල සුදුසුකම් ලබා ගත්තේය. ඒ අනුව සාන්ත පීතර විදුහල හා කොළඹ රාජකීය විදුහල අතර පළමු අවසන් පූර්ව තරගය ඩී.එස්. සේනානායක විදුහල හා කොළඹ සාන්ත ජෝසප් විදුහල අතර දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ.

අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර ගේට්වේ විදුහල නොපැමිණීම හේතුවෙන් සාන්ත පීතර විදුහලට නිතරග ජයක් හිමි වූ අතර කොළඹ සාන්ත ජෝසප් විදුහල ලකුණු 62-57කින් කොළඹ ආනන්ද විදුහල පරාජය කළේය. කොළඹ රාජකීය විදුහල හා කොළඹ ගේට්වේ විදුහල අතර තරගයෙන් ලකුණු 72-62ක ජයක් රාජකීය විදුහලට හිමි වූ අතර, කොළඹ ඩී.එස්. සේනානායක විදුහල හා කුරුණෑගල සාන්ත ආනා අතර තරගයෙන් ලකුණු 63-62ක තියුණු ජයක් ඩී.එස්. සේනානායක ක්‍රීඩකයෝ ලබා ගත්හ.

මේ පාසල් බාස්කට්බෝල් තරගාවලිය කාණ්ඩ තුනක් යටතේ පැවැත්වෙන අතර අවසන් පූර්ව වටයට කණ්ඩායම් 20ක් සුදුසුකම් ලබා සිටී. තරගාවලියට පූර්ණ අනුග්‍රහය ගජ හෝල්ඩිං ආයතනය විසින් දී ඇත. හෙට (10) සියලු කාණ්ඩවල අවසන් තරග හා ජය සංකේත ප්‍රදානය කිරීමට නියමිතය.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න