චමීරලාගේ ලක්නව් උඩටම එයි | දිනමිණ

චමීරලාගේ ලක්නව් උඩටම එයි

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙන් ලකුණු 75ක විශිෂ්ට ජයක් හිමි කර ගත් දුෂ්මන්ත චමීර ක්‍රීඩා කරන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අයිපීඑල් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වෙයි.

ලක්නව් පිල තරග 11කදී හිමි කර ගත් 8 වැනි ජය මෙය වන අතර, ඔවුන් සමඟ ගුජරාට් ටයිටන්ස් පිල ද තරග 11කින් 8ක් ජය ගෙන තිබේ. කෙසේ වෙතත් දළ ලකුණු වේගය අනුව ලක්නව් පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්ව සිටී. තරග 11ක් ක්‍රීඩා කළ කොල්කටා පිල පරාජය වූ 7 වැනි තරගය මෙයයි.

තරගාවලියේ 53 වැනි තරගය ලෙස පූනේහිදී පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් ලක්නව් පිල කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය කොල්කටා පිලට ඕවර 14.3කදී සියලු දෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 101ක් පමණි.

අන්ඩෘ රසල් පන්දු 19කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟ වේගවත් ලකුණු 45ක් රැස් කරමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට උත්සාහ කළ ද සෙසු පිතිකරුවන් අසාර්ථක වීමෙන් කොල්කටා පිලට පරාජය අත් විය.

පන්දු යැවීමේදී අවේශ් ඛාන් ලකුණු 19කට කඩුලු 3ක් දවාගත් අතර, ඕවර 3ක් යැවූ දුෂ්මන්ත චමීර ලකුණු 14ක් පමණක් දෙමින් කඩුල්ලක් බිඳ දැමීමට සමත් විය. පළමුව පන්දුවට පහර දුන් ලක්නව් පිලට වේගවත් ආරම්භයක් දුන් ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 50ක් රැස් කළේ පන්දු 29කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟිනි. දීපක් හූදා පන්දු 27කින් ලකුණු 41ක් සහ මර්කස් ස්ටොයිනිස් පන්දු 14කින් ලකුණු 28ක් ඉනිමට එක් කළහ.

පන්දු යැවීමේදී අන්ඩෘ රසල් කඩුලු 2ක් දවා ගත්තේය.

පන්ජාබ් පරදී

මේ අතර, තරගාවලියේ 52 වැනි තරගයෙන් පන්ජාබ් කිංග්ස් පිල පරදවා කඩුලු 6ක් ජයක් අත් කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ පළමුව පන්දුවට පහර දෙමින් පන්ජාබ් පිල දුන් ලකුණු 189ක ඉලක්කය පන්දු 2ක් ඉතිරිව තිබියදී සපුරාගත් රාජස්ථාන් පිලට අහිමි වූයේ කඩුලු 4ක් පමණි.

මේ තරගයේදී පන්ජාබ් පිල වෙනුවෙන් භානුක රාජපක්ෂ පන්දු 18කින් ලකුණු 27ක් රැස් කළේ හතරේ සහ හයේ පහර දෙක බැගින් එල්ල කරමිනි.

නව අදහස දක්වන්න