ඔලිම්පික් මහ ලේකම්වරයාට පහර දීම නිලවරණයට හා තේරීම්වලට සම්බන්ධයක් | දිනමිණ

ඔලිම්පික් මහ ලේකම්වරයාට පහර දීම නිලවරණයට හා තේරීම්වලට සම්බන්ධයක්

පැහැරගත් වාහනය පැය 5න් අල්ලයි

ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාට එල්ල කළ ප්‍රහාරය නිමා වූ ඔලිම්පික් කමිටු නිලවරණයේදී තනතුරුවලට පත්වීමට උත්සාහ කොට පරාජයට පත් වූ පාර්ශ්වයක් අතර පවතින එදිරිවාදිකම්වල දිගුවක් බව ජාතික ඔලිම්පික් කමිටුව නිවේදනයක් නිකුත් කරමින් කියයි. එමෙන්ම ළඟ එන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තේරීම් කටයුතු සම්බන්ධ කොට මේ ප්‍රහාරය සිදු කරන්නට ඇති බව එම නිවේදනයේ දැක්වේ.

ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගේ නිවසට ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු ඒ මහතාට පිහියෙන් ඇන ඔහුගේ මෝටර් රථය ද රැගෙන පලා ගියහ. එම මොටර් රථය අතරමඟ දමා ගොස් තිබී පසුව මෝදර පොලිසිය විසින් සොයා ගෙන තිබූ අතර සීසීටීවී දර්ශන ගෙන පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී. මෝදර පොලිසියේ ස්ථානාධිපතිතුමාගේ උපදෙස් පරිදි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඇන්ටනී මහතා ඇතුළු පිරිසක් මේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන අතර වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී ඇතැයි පැවසේ.

මැක්ස්වෙල් මහතා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගෙන ඊයේ පිටව ගොස් ඇති අතර ඔහුගේ අතකට තුවාල සිදු වී තිබේ. පිහි පහර එල්ල කිරීමේදී මැක්ස්වෙල් මහතාගේ බිරිය හා දියණිය එය වළක්වාලීමට උත්සාහ දරා ඇති අතර ඔවුන් දෙදෙනාට ද තුවාල සිදු වී ඇත. සහසිකයන් දෙදෙනා පලා යෑමට පෙර “අපට අසාධාරණයක් වූවා. මරන්නයි ආවේ” යනුවෙන් පැවැසූ බව ප්‍රතිකාර ලබමින් සිටින මැක්ස්වෙල් ද සිල්වා මහතා ‘දිනමිණ’ට පැවසීය. “මාව ඡන්දයෙන් පරද්දන්න බැරි උදවිය වෙනත් සාහසික ක්‍රම සොයනවා. පසුගිය කාලයේ මට එරෙහිව ඇතැම් මාධ්‍ය යොදාගෙන බොරු චෝදනා නගා තිබුණා. ඒ කිසිදු දෙයකින් මා ක්‍රීඩාවට කරන සේවය නවත්වන්න ඔවුන්ට බැරි වුණා. මේවා ලැජ්ජා නැති වැඩ. මේ වගේ සාහසික වැඩ කරන අය ක්‍රීඩාවට නුසුදුසුයි. මෙය ක්‍රීඩාවට සේවය කරන්න තවත් ශක්තියක් වුණා” මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය.

ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම්වරයා එදින තම කාර්යාලයේ සේවිකාවකගේ මංගල්‍ය උත්සවයකට සහභාගිවීම උදෙසා උදෑසනම අවදිවී සූදානම්වීමට අපේක්ෂාවෙන් සිටිද්දී දිගින් දිගටම බල්ලන් බුරන සද්දයක් ඇසී සිල්වා මහතාගේ බිරිය නිවසේ පිටුපස දොර විවෘත කොට ඇත. එහිදී සහාසිකයන් දෙදෙනා සිල්වා මහතාගේ බිරිය පසෙකට තල්ලු කොට එකවරම නිවසට ඇතුළු වී තිබේ. මේ දෙදෙනා මංකොල්ලකරුවන් බවට මුලදී සිතුවත්, මැක්ස්වෙල් ද සිල්වා මහතාට කෙළින්ම ආමන්ත්‍රණය කිරීමෙන් හා එක් අයෙකු එක්වරම පිහියක් ඉවතට ඇදීමෙන් මොවුන් වෙනත් අරමුණකින් පැමිණ ඇති බව තහවුරු වී තිබේ.

ප්‍රින්ස් ගුණසේකර

නව අදහස දක්වන්න