මන්ත්‍රීවරුන් 53ක් මේ වන විට ස්වාධීන කණ්ඩායම සමඟ එක්ව සිටිනවා | දිනමිණ

මන්ත්‍රීවරුන් 53ක් මේ වන විට ස්වාධීන කණ්ඩායම සමඟ එක්ව සිටිනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ

මේ වන විට ස්වාධීන කණ්ඩායම සමඟ මන්ත්‍රීවරුන් 53 දෙනකු එක්ව සිටින බව පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ කණ්ඩායමේ මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ ඇන්. ඇම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

"ඉදිරි දින කිහිපයේ එම සංඛ්‍යාව තව තවත් වැඩි වෙනවා. ආණ්ඩුවේ තවදුරටත් රැඳී සිටිය යුතු යැයි කියන මතයේ සිටින්නේ විසි පහක, තිහක පමණ කණ්ඩායමක් පමණයි.

නියෝජ්‍ය කථානායකවරයා තෝරා පත් කරගැනීමේදී විපක්ෂයේ ශක්තිය පෙන්වීමට අවස්ථාව තිබියදී එය සමඟි ජනබලවේගයෙන් නින්දිත ලෙස පවා දුන්නා. එම පාවා දීම නොකළේ නම් අද වන විට පාර්ලිමේන්තුවේ සිටින ශක්තිමත්ම කණ්ඩායම විපක්ෂ කණ්ඩායමයි. මෙරට ඉතිහාසයේ කිසිදු දිනක අත්නොදැකපු ප්‍රශ්නයකට තමයි අප මේ වන විට මුහුණ දෙමින් ඉන්නේ. 88/89 කාලය පිළිබඳ යම් අත්දැකීම් තිබුණත් එහිදී වුණත් මේ තරම් ආර්ථික අර්බුදයක් ඇති වුණේ නෑ. මේ ආර්ථික සහ දේශපාලන අර්බුදය විසඳීම ප්‍රමුඛ කාර්යභාර්ය වෙලා තිබෙනවා. මේ අර්බුදයට විසඳුම් හොයන කණ්ඩායම් අතර ව්‍යවස්ථාදායකයේ 225ක් ඉන්නවා. විධායකයේ ජනාධිපතිවරයා ඉන්නවා. ඒ වගේම මින් පීඩාවට පත්වෙලා ඉන්න මිනිසුන් වගේම අරගලයේ යෙදෙන කණ්ඩායමක් ඉන්නවා. මේ හැමෝටම වගකීමක් තිබෙනවා, මේ අර්බුදයෙන් ගොඩ එන්න මැදිහත් වෙන්න. මේ අරගලය පටන් ගත්තාට පස්සේ පාර්ලිමේන්තුව වාර තුනක් රැස් වෙලා තිබෙනවා. මේ වාර තුනටම කතා සාප්පුවක් වුණා විතරයි. එහි කිසිම ප්‍රතිඵලයක් ලැබුණේ නෑ. මේ පිළිබඳව ආණ්ඩුවේ විවිධ අරගල කර බැරිම තැන එළියට බැහැලා අපේ විරෝධතාව පළ කරන්න කටයුතු කළා. අද වන විට එම කණ්ඩායම 53ක් දක්වා වැඩිවී තිබෙනවා. තවත් රාජ්‍ය ඇමැතිවරයෙක් ඉල්ලා අස්වෙලා තිබෙනවා. තවත් පසු පෙළ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම්දී තිබෙනවා මේ ප්‍රශ්නය කඩිනමින් විසඳන්න කියලා.

එළැඹෙන සතියේ පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නෑ. ඒ නිසා මේ 225ට වගකීමක් තිබෙනවා, සියලු දෙනා එකතු වෙලා මේ සඳහා කඩිනම් විසඳුමක් දෙන්න. එසේ නොවන්නේ නම් මේ රට ලේ විලකට තල්ලු වෙන්න පුළුවන්."

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ කණ්ඩායමේ මන්ත්‍රී අසංක නවරත්න මහතා

"මේ ප්‍රශ්නය විසඳන්න විපක්ෂයේ ඉන්න ඇතැම් පක්ෂවලට අවශ්‍ය නෑ. ඔවුන්ට ඕන තමන්ගේ මඩිය තර කරගැනීම පමණයි. ඒ නිසා තමයි සමඟි ජනබලවේගය නියෝජ්‍ය කථානායකවරයා තෝරා පත් කර ගන්නා අවස්ථාවේ ඔවුන් බෙදීම ඇති කළේ. ඒ නිසා අප මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා, පක්ෂ නායකයන් සියලු දෙනා කැඳවා මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කරන්න කියලා."

පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ කණ්ඩායමේ මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා

"නියෝජ්‍ය කථානායකවරයා තෝරා ගැනීමේදී සමඟි ජන බලවේගයේ නායකයා තමයි එය හිතා මතා බෙදීමක් කළේ. මොකද ඒ මහතාගේ අම්මා පසුගියදා තිරු නඩේසන්ලගේ ගෙදරදී පොහොට්ටුවේ නායකයෙක් හමු වෙලා සාකච්ඡා කළා. ඒ ගැන විමල් වීරවංශ මහතා අභියෝග කළා, ඕනෑම විවාදයකට එන්න කියලා. එය බොරුවක් නම් ඒ අභියෝගය භාර ගන්න තිබුණා. පොහොට්ටුවේ නායකයන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ පවුල් අතර හොඳ බැඳීමක් තිබෙනවා."

නුවන් කොඩිකාර

නව අදහස දක්වන්න