මාතලේ-ලග්ගල දේශීය වෛද්‍යවරු ගැටලු රැසක | දිනමිණ

මාතලේ-ලග්ගල දේශීය වෛද්‍යවරු ගැටලු රැසක

පැරණි පුස්කොල පොත් වලට අනුව ඖෂධ නිපදවන පාරම්පරික අක්ෂි වෛද්‍ය ඩබ්ලිව්.එම්.කේ.ඩ්.කිරිබණ්ඩා වෙදමහතා.

වසර පන්දහක ඉතිහාසයකට නෑකම් කියනවා යැයි සඳහන් කරන මාතලේ ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පාරම්පරික හෙළ වෙදැදුරන්ට සිය නිෂ්පාදන ප්‍රවර්ධනය සදහා ගැටලු රැසක් මතුවි ඇතැයි හෙළ වෛදවරු කියා සිටිති.

පනහකට ආසන්න ලියාපදිංචි දේශිය වෛදවරු ජිවත් වන ලග්ගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ස්වභාවික ඖෂධ ආශ්‍රෙයන් විවිධ ප්‍රතිකාර මොවුන් විසින් සිදුකරනු ලබති.

වසර ගණනාවක් තිස්සේ සිය පරම්පරාවලින් පැවත ආ වෙදකම හරහා පිළිකා නැසීම, සියලු අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර සිදුකිරිම ඇතුළු සර්වාංග වෙදකම ඇතුළු විවිධ වෛද්‍ය ක්‍රම හරහා මෙම දේශිය වෛද්‍යවරු ප්‍රතිකාර සිදුකරති.

මොරගහකන්ද වාරි ව්‍යාපෘතිය හේතුවෙන් පදිංචිය වෙනස් වු පිරිස් ද මේ අතර සිටින අතර එම වෛද්‍යවරු කියා සිටියේ සිය ඖෂධ නිෂ්පාදනය සඳහා තමන් පෙර ලබාගත් ඖෂධ පැළෑටි රැසක් මොගහකන්ද ව්‍යාපෘතියට කළ එළිපෙහෙළී කිරිම් හේතුවෙන් විනාශ වී ගොස් ඇති බවයි.

ලග්ගල ආයුර්වේද සංරක්ෂණ සභාවේ සභාපති දේශිය වෛද්‍ය බි. ජි. සාලියදාස මහතා කියා සිටියේ සිය සංගමයේ වෛද්‍යවරුන්ට අවශ්‍ය ඖෂධ පැළෑටි නොමැති කම හේතුවෙන් ඝෘජු ප්‍රතිකාර ක්‍රම රැසක් සඳහා නිපදවිය හැකි තෙල් වර්ග මේ වන විට සැකසීම සිදු නොකරන බවයි.

පාරිසරික වෙනස්කම් හරහා ඇතිවි ඇති පාරිසරික වෙනස්කම්, වනාන්තර විනාශය, විවිධ ආක්‍රමශිලි පැළෑටි වනයට පැමිණිම මෙන්ම වගා සඳහා කෘෂි රසායන භාවිතය ඉහළ යෑම ආදි කරුණු රැසක් හේතුවෙන් සිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන පැළටි සොයාගැනීම ඉතා දුෂ්කර කාර්යයක් බව හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

පවත්නා තත්ත්වය සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කර ඇති බව කියා සිටි හෙතෙම අවධාරණය කර සිටියේ සිය වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් නිසි පරිදි ලබා දෙන්නේ නම් මේ වන විට රට තුළ පවත්නා විවිධ රෝග රැසකට නිට්ටාවට ප්‍රතිකාර ලබාදිය හැකි බවයි.

නාඋල සමූහ

නව අදහස දක්වන්න