අඩු ආදායම්ලාභි පවුල් 200කට වියළි ආහාර | දිනමිණ

අඩු ආදායම්ලාභි පවුල් 200කට වියළි ආහාර

අඩු ආදායම්ලාභී පවුල් 200කට වියළි ආහාර ද්‍රව්‍ය දීම මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිගේ මූලිකත්වයෙන් ඊයේ (08) මල්වතු මහා විහාරයේදී සිදු කෙරිණි.

පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ආදායම් අහිමිව ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වන පවුල් ග්‍රාම සේවා නිලධාරීන් මඟින් හඳුනාගෙන මේ වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කළ බව මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභික දොරණෑගම රතනපාල හිමියෝ පැවැසූහ.

මල්වතු මහනාහිමිගේ අදහසකට අනුව මේ වියළි ආහාර පාර්සල් බෙදා දුන් අතර, එහි වටිනාකම රුපියල් මිලියනයක් පමණ වන බව රතනපාල හිමියෝ ප්‍රකාශ කළහ.

රට අසීරුතාවට පත්ව තිබෙන මේ අවස්ථාවේ සියලු ජනතාව ජාති, ආගම් බේද නොතකා එකිනෙකාට උදව් උපකාර කර ගත යුතු බව මල්වතු මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියෝ පැවැසූහ.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව නියෝජනය වන පරිදි භාණ්ඩ බෙදා දීම සිදු කළ අතර, එම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම, ලේඛකාධිකාරී පහමුණේ සුමංගල හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ.

ඡායාරූපය - රුවන් මීගම්මන

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න