සාමකාමි පරිසරයක් ඇති කරන්න හදිසි නීතිය ක්‍රියාත්මක කළා | දිනමිණ

සාමකාමි පරිසරයක් ඇති කරන්න හදිසි නීතිය ක්‍රියාත්මක කළා

සංචාරක හා මහජන ආරක්ෂක ඇමැති ප්‍රසන්න රණතුංග

සාමකාමීව කෙරුණු උද්ඝෝෂණ කලහකාරී තත්ත්වයට පත්ව ඇති නිසා නැවත සාමකාමි පරිසරය සකස් කිරීම සඳහා හදිසි නීතිය යෙදූ බව සංචාරක හා මහජන ආරක්ෂක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

හදිසි නීතිය පැනවීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

"රටේ සාමකාමි වාතාවරණයක් ඇති කර ගන්න ඕනෑ. පහුගිය දවස්වල සාමකාමි උද්ඝෝෂකයන්ට සාමකාමිව කටයුතු කරන්න අවස්ථාව සලසා දුන්නා. ජාත්‍යන්තරය පිළිගත් තත්ත්වයන්ට අනුව කටයුතු කළා. උදාහරණයක් විදිහට ගෝල්ෆේස් එකට සනීපාරක්ෂක භාණ්ඩ ගෙනත් පාවිච්චි කරන්න ඉඩ දුන්නා. ඒ අයට අවශ්‍ය කෑම බීම එතනට ගෙනත්, භාෂණයේ නිදහස දුන්නා.

"මේ වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාල දොරටුව අවහිර කරගෙන. නො‍ෙයකුත් අසනීපවලට බෙහෙත් ගැනීම සඳහා ජනාධිපති අරමුදලින් උදව් ගන්න ඉල්ලුම්පත්‍ර භාර දෙන්න එන අයත් අපහසුතාවට පත් වෙලා. මේකට නීත්‍යනුකූල පොලිස් ආඥා අණපනත් අනුව කටයුතු කළ හැකිව තිබුණා. පොලිසිය ඉතා ඉවසිලිවන්තව කටයුතු කරමින් මේවා ගැන අධිකරණයට දැනුම් දුන්නා.

"දැන් උද්ඝෝෂකයන් පොලිසියට බාධා කරමින්, පොලිස් නිලධාරීන්ට බැණ වදිමින්, බස් රථ හරස් කරගෙන, සාමාන්‍ය ජනතාවගේ ගමන් බිමන්වලට බාධා කරමින්, දරුවන්ට පාසල් යන්න බැරි විදිහට කටයුතු කරනවා. මේ පොඩි දරුවන්ට අවුරුදු දෙකක් සාමාන්‍ය විදිහට අකුරු කරන්න බැරි වුණා. ඒ දරුවන්ට තවදුරටත් එහෙම වෙන්න දෙන්න බැහැ. කඩසාප්පු බලහත්කාරයෙන් වහනවා. විවෘත කරලා තියෙන කඩවලට තර්ජනය කරනවා. එහෙම වෙනකොට සාමකාමී උද්ඝෝෂණයක් නැහැ.

"පාර්ලිමේන්තුව අසල දවස් දෙකක් මේ උද්ඝෝෂකයන් කටයුතු කළ ආකාරය අධිකරණයට වාර්තා කරලා තියෙනවා. ඒ අයට සාමකාමි උද්ඝෝෂණ කරන්න පුළුවන්. බැරියර් කඩාගෙන ඇවිත් කළේ සාමකාමි උද්ඝෝෂණයක් නෙවෙයි. හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර මන්ත්‍රීවරුන්ට මුහුණ දෙන්න වුණු සිද්ධි අපි දැක්කා. පාර්ලිමේන්තුවේ හදිසි ඡන්දයකට ඡන්දය දෙන්නවත් මන්ත්‍රීවරයකුට එන්න බැරි තත්ත්වයක් ඇති වුණොත් එතැන සාමකාමි නැහැ. මේ වෙද්දි සාමකාමි උද්ඝෝෂණ කලහාකාරී තත්ත්වයකට පත් වෙලා.

"ආයෝජන මණ්ඩලයේ ෆැක්ටරිවල ළමයින්ව බලහත්කාරයෙන් කර්මාන්ත ශාලාවලින් එළියට ගන්නවා. ඔවුන්ගේ වැඩපිළිවෙළට විරුද්ධ අයගේ ගෙවල් දොරවල් වටලන්න කියලා සමාජ මාධ්‍යයෙන් කියනවා. මේවා සාමකාමි නැහැ. මේ නිසා රට තුළ සාමකාමි පරිසරයක් ඇති කිරීමටයි හදිසි නීතිය ක්‍රියාත්මක කළේ. හදිසි නීතිය පිළිබඳ රෙගුලාසි සකසන්න කියලා ආරක්ෂක ලේකම්ට ආරක්ෂක මණ්ඩලයේදී උපදෙස් දුන්නා. ඒ අනුව ඉදිරියේදී නියමිත කාලවකවානුවල හදිසි නීතිය පිළිබඳ පාර්ලිමේන්තු විවාද පැවැත්වෙනවා."

චින්තා රණසිංහ

නව අදහස දක්වන්න