විරෝධතා හේතුවෙන් ජන ජීවිතයට බාධා | දිනමිණ

විරෝධතා හේතුවෙන් ජන ජීවිතයට බාධා

ඡායාරූපය - රංජිත් අසංක

විරෝධතාකරුවෝ ගෑස් ලොරියක් කොල්ලකති

දිවයිනේ ස්ථාන ගණනාවක මහජනයා ඒකරාශි වී කරන ලද විරෝධතා හේතුවෙන් ඊයේ (08) ජන ජීවිතයට මහත් බාධා සිදු වූ බව මහජනතාව කියා සිටිති.

ඊයේ (08) ගෑස් ඉල්ලා කළ විරෝධතාවක් හේතුවෙන් කොළඹ ආමර් වීදිය අවට සහ මහරගම නාවින්න අවට කොට්ටාව බොරැල්ල 174 මාර්ගය ඇතුළු ප්‍රදේශ ගණනාවක මාර්ග අවහිර කරමින් කරන ලද විරෝධතා හේතුවෙන් විශාල වාහන තදබයක් ඇතිව තිබිණි.

ආමර් වීදියේ කරන ලද විරෝධතාව හේතුවෙන් පැය කිහිපයක් ගමනාගමන කටයුතු ඇන හිට තිබූ අතර ඒ අවට නවතා තැබූ ස්ථානවල වාහන නවතා තිබෙනු දක්නට ලැබිණි.

ආමර් වීදියේ කළ විරෝධතාවෙන් අනුරාධපුර හලාවත, මීගමුව පොලොන්නරුව ඇතුළු දිගු ගමනාන්තවල සිට පැමිණි බස් රථ මගීන් සමඟ බොහෝ වේලාවක් නවතා තිබෙනු දක්නට ලැබිණි.

පොලිසියේ මැදහත් වීමෙන් ගෑස් ලොරියක් එම ස්ථානයට රැගෙන විත් තිබුණ ද එම ලොරිය ඉවත්ව ගිය පසු යළිත් ඔවුන් විරෝධතාවේ නියැළුණු බව පොලිසිය පැවැසීය.

මෙලෙස පැමිණි ගෑස් ලොරියේ තිබූ ගෑස් සිලින්ඩර් 50කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවද එහි ආරංචි මාර්ග පවසයි.

මෙලෙසම නාවින්න මහරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවේ නියැළීම හේතුවෙන් රත්නපුර, බදුල්ල, බණ්ඩාරවෙල, අැඹිලිපිටිය, බළන්ගොඩ, ඇහැළියගොඩ, අම්පාර, මොණරාගල, වැලිමඩ, හැටන්, ඩයගම, දියතලාව, අවිස්සාවේල්ල ඇතුළු දුරගමන් සේවා බස් ද මේ හේතුවෙන් බොහෝ වේලාවක් නවතා තැබීමට සිදුව ඇති අතර පසුව ඔවුන් විකල්ප මාර්ග භාවිත කරමින් ධාවන කටයුතු කළ බව පොලිසිය පැවැසීය.

සුභාෂිණී සේනානායක, ආරියරත්න ගනේගොඩ මැදකොළඹ සමූහ

 

නව අදහස දක්වන්න