එකමුතු ආණ්ඩුවකින් අර්බුදය ජය ගන්න ජනපති සූදානම් | දිනමිණ

එකමුතු ආණ්ඩුවකින් අර්බුදය ජය ගන්න ජනපති සූදානම්

අගමැති ඉවත් කරන්න කැබිනට්ටුවේදී සාකච්ඡා කළේ නෑ

ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය නාලක ගොඩහේවා

සියලු පක්ෂවල එකඟතාවෙන් ගොඩනැඟෙන එකමුතු ආණ්ඩුවකින් මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය විසඳීමට නව ප්‍රතිසංස්කරණ ඇති කිරීමට ජනාධිපතිවරයා කැමැත්තෙන් සිටින බව ජනමාධ්‍ය ඇමැති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

ඒ සම්බන්ධයෙන් මේ වන විටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂය සමඟත් පොදුජන පෙරමුණ සමඟත් සාකච්ඡා කරමින් සිටින බවද ඇමැතිවරයා අනාවරණය කළේය.

අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත් පසුගිදා පැවැති කැබිනට් රැස්වීමේ දී එවැනි කරුණක් සාකච්ඡා නොකළ බවත් ගොඩහේවා මහතා කියා සිටියේය.

නව ආණ්ඩුවක් නිර්මාණය කිරීමේ දී අවස්ථාව සැලසීමට පහසුම ක්‍රමය අගමැතිවරයා ඉවත්වීම නිසා ඇතිවන සමස්ත කැබිනට්ටුව අහෝසිවීම පිළිබඳ සාකච්ඡා කළ බවද හෙතෙම කීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය ඇමැති ගොඩහේවා මහතා මෙසේ ද කීවේය.

විදේශ විනිමය ප්‍රශ්නයක් නිසා රටේ අර්බුද කිහිපයක් නිර්මාණය වෙලා තිබෙන බව අප කවුරුත් දන්නවා. බඩුමිල ඉහළ යාම, ඉන්ධන, ගෑස් හිඟය වැනි කරුණු රාශියක් නිසා මෙම තත්ත්වය ඇතිව තිබෙනවා. සමාජ දේශපාලන අර්බුදයක් මේ වන විට පැන නැඟී තිබෙනවා. මේ තත්ත්වය ඇතිවීමට හේතු පිළිබඳ වාද කරමින් සිටීම ජනාතවට පළක් ගෙන දෙන්නේ නෑ. ජනතාවට අවශ්‍ය වෙන්නේ ප්‍රශ්නවලට හැකිතාක් ඉක්මනින් විසඳුම්. මෙම ප්‍රශ්න විසඳීමට රජය උපරිම උත්සාහය යොදා තිබෙනවා. නමුත් ඒ තුළින් පමණක් විසඳුම් සොයා ගන්න බැහැ. එක පැත්තකින් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනි. අනෙක් පැත්තෙන් වියදම අවම කරමින් දූෂණ සහ වංචාව නැවැත්විය යුතුයි. අපට මේ වෙලාවේ ජාත්‍යන්තර සහාය අවශ්‍යයි. සංචාරකයෝ ගෙන්වා ගැනීමට අවශ්‍යයි. මේ සඳහා ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය හොඳට තිබිය යුතුයි. විදේශවල මේ වේලාවේ කතාවෙන දේවල් හොඳ ප්‍රතිරූපයක් ගොඩ නැඟෙනවා යැයි අපට කියන්න බැහැ.

අනෙක් කරුණු තමයි අපේ රටේ පසුගිය කාලයේ සිදුවුණු විවිධ හේතුන් නිසා අපනයන කර්මාන්ත බිඳවැටී තිබෙනවා. ඒවාට බාධා කරන තත්ත්වයක් ඇති වුණා. සංචාරකයන් බස්වලින් බස්සවා යවන තත්ත්වයක් ඇති වුණා. සංචාරකයන් ශ්‍රී ලංකාවට එන ප්‍රමාණය අඩු වෙමින් තිබෙනවා. ජනාධිපතිවරයා මේ වන විට පවසා තිබෙනවා මේ අර්බුදය විසඳා ගැනීමට පාර්ලිමේන්තුව තුළින් නව කැබිනට් මණ්ඩලයක් පත් කරගන්න කියලා. ඒ සඳහා ජනාධිපතිවරයා පසුගිය කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කළා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්. එතනදී සාකච්ඡා වුණේ කැබිනට් මණ්ඩලය විසුරුවා හරිනවා නම් අගමැතිවරයා ඉල්ලා අස් විය යුතුයි යන්න. එහිදී සමස්ත කැබිනට් මණ්ඩලය අහෝසි වන බව ව්‍යවස්ථාවෙන්ම සඳහන් වෙනවා. සමහරු මේක වැරදියට අර්ථකතනය කරනවා. මේක ජනාධිපතිවරයා විසින් අගමැතිවරයා ඉවත් කිරීමට ගත් තීන්දුවක් කියා වැරැදි ලෙස අර්ථකතනය කරනවා. එය සම්පූර්ණයෙන් වැරැදි වැටහීමක්.

ජනාධිපතිවරයා මේ වන විටත් විපක්ෂය සමඟත් ආණ්ඩු පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් සමඟත් සාකච්ඡා කර තිබෙනවා. ඉදිරියට ඇවිත් එකමුතු ආණ්ඩුවක් පිහිටුවන්න කටයුතු කරන්න කියා ජනාධිපතිවරයා ඉල්ලා තිබෙනවා. ජනාධිපතිතුමා විශ්වාසකරන ආකාරයට පාර්ලිමේන්තුව තුළ වැඩි කැමැත්තක් දක්වන්න මන්ත්‍රීවරයාට අගමැතිකම ලබාදී නව කැබිනට් මණ්ඩලයක් පිහිටුවන්න. ඒ අවසාන තීත්දුව ගන්නේ සියලුම පක්ෂවල තීරණයට අනුව තමයි. මේ වෙලාවේ කළ යුතු වෙනස්කම් කරමින් ආර්ථික ප්‍රතිසංස්කරණ ඇති කරමින් රට ඉදිරියට ගෙන ඒමට කටයුතු කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇත. ඒ සඳහා සියලුදෙනාගේ සහායෝගය උපකාරය බලාපොරොත්තු වෙනවා.

චමීර ඇල්ලදෙණිය

නව අදහස දක්වන්න