පෘථිවියේ භ්‍රමණය නතර වුණොත්? | දිනමිණ

පෘථිවියේ භ්‍රමණය නතර වුණොත්?

පෘථිවිය එය බිහි වූදා සිටත්, බිහි වීමට පෙර සිටත් භ්‍රමණය වෙමින් පැවති බව විද්‍යාත්මකව පිළිගන්නා සත්‍යයකි. මහා ගණිතඥ හා තාරකා විද්‍යාඥ නිකලස් කොපර්නිකස් සූර්යයා කේන්ද්‍ර කර ගත් සෞරග්‍රහ මණ්ඩල ආකෘතිය හඳුන්වා දුන් දින සිට පෘථිවිය එහි අක්ෂය වඩා භ්‍රමණය වෙමින් සූර්යයා වටා පරිභ්‍රමණය වන බව නොයෙකුත් ආකාරවලින් සාක්ෂි සහිතව සනාථ කොට තිබේ. පෘථිවිය මෙන්ම සෙසු ග්‍රහයන්ද එලෙස භ්‍රමණය වන්නේ ඇයි? ඒ සෞරග්‍රහ මණ්ඩලය බිහි වීමට පෙර සිටම එනම් සමස්ත සෞරග්‍රහ මණ්ඩලය දුහුවිල්ලෙන් සැදුණු නිහාරිකාවක්ව තිබු අවධියේදී පටන් එය භ්‍රමණය වෙමින් පැවති බැවිනි. සූර්යයා කේන්ද්‍ර කර ගනිමින් එය වටා භ්‍රමණය වූ මෙම දුහුවිලි වලාවේ වූ අංශු එකිනෙක හා ගැටීමෙන් හා මුහු වීමෙන් ග්‍රහයන් බිහි වීමට පටන් ගන්නා ලද්දේ උපවයනය හෙවත් විවර්ජනය නැමැති ක්‍රියාවලියකිනි. එලෙස එම අංශු එකිනෙක හා මුහුවීමේදී ඒවා මුලින් භ්‍රමණය වෙමින් තිබූ ගම්‍යතාවද නොවෙනස්ව, මුහු වීමෙන් තැනුණ වස්තු කරා සංක්‍රමණය වීමක් සිදු විය. පෘථිවිය අදටද එහි අක්ෂය වටා භ්‍රමණය වෙමින් තිබෙන්නේ එලෙස එය බිහි වීමේදීම එයට ලැබුණු මෙම ගම්‍යතාව හේතුවෙනි. චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළමු නියමයට අනුව යම් වස්තුවක් මත කිසියම් බාහිර බලයක් ක්‍රියා නොකරන තාක් කල් එය මුලින් පැවති ආකාරයෙන්ම නොවෙනස්ව පැවතීම යන සත්‍යය මෙහිදීද ක්‍රියාත්මකව තිබේ. එහෙත් යම් හෙයකින් පෘථිවිය එලෙස එය බිහිවීමටත් පෙර සිටම අත්පත් කරගෙන සිටි මෙම භ්‍රමණය යම් හෙයකින් නැවතුණ හොත් කුමක් වනු ඇතිද?

සමකය වටා

පෘථිවිය මත ගෙවෙන එක් දිනයක් වසරක් තරම් දිගු වනු ඇතිද? ලෝකයේ අඩක් සදාකාලික අඳුරේ ගිලී යත්දී ඉතිරි අඩ ගිනි ගෙන දැවෙන උණුසුමින් දැවී යනු ඇතිද? සමකය අසලදි පමණක් පැයට කිලෝමීටර එක්දහස් හයසිය දහයක වේගයකින් භ්‍රමණය වෙමින් තිබෙන පෘථිවියේ භ්‍රමණය එක්වරම නැවතුණ හොත් විය හැකි විනාශය හොලිවුඩ් තාක්ෂණික ප්‍රයෝග සහිත චිත්‍රපටයකින් මවා පෙන්වීමට උත්සාහ කළොත් ඒ සඳහා ඩොලර් බිලියනයකට වැඩි මුදලක් වැය වනවා ඇත. එක් ක්ෂණයකින් වන එම විනාශය එතරම්ම බිහිසුණුය. අඳුරේ ගිලීගත් පෘථිවි අර්ධයේ උණුසුම ශීඝ්‍රයෙන් පහළ යෑම නිසා සියලු සාගර හා ජල ස්කන්ධ මිදී අයිස් බවට පත්වත්දී, සෘජුවම සුර්යයා වෙතට නිරාවරණය වූ අර්ධයේ උණුසුම සෙල්සියස් අංශක සියය දක්වා ඉහළ නඟිනු ඇත්තේ සාගර සියල්ල ශීඝ්‍රයෙන් වාෂ්පීකරණයට ලක් කරමිනි. සමකය වටා වන ජලය සියල්ල පෘථිවි ධ්‍රැව කරා ඇදී යනු ඇත. පෘථිවි භ්‍රමණය එක්වනම නතර වුව හොත් ඇති විය හැකි ව්‍යසනය, පෘථිවියේ භ්‍රමණය ප්‍රත්‍යවර්ත කොට සිය පෙම්බරිය ගලවා ගැනීමේ විශ්වකර්ම සිදුවීම් දාමයක් කේන්ද්‍ර කරගනිමින් 1978දී තිරගත වූ ‘සුපර් මෑන්’ චිත්‍රපට ලෝලීන් රසවිඳි ආකාරයේ අත්දැකීමක් නම් නොවනු ඇත. ක්ෂණිකව වන භ්‍රමණයේ නැවතීමක් නිසා විය හැකි විනාශය උපකල්පනය කිරීමට නොහැකි තරම් ව්‍යසනකාරී වූවක් බැවින් උපකල්පනයේ පහසුව පිණිස පෘථිවි භ්‍රමණය ක්‍රමයෙන් නැවතෙන බව උපකල්පනය කරමු. එවන් තත්ත්වයකදී පෘථිවියේ ගෙවෙන එක් දිනයක් වසරක කාලයකට සම වනු ඇත.

එහිදී වන කාලගුණික විපර්යාසයෙන් වැඩිම බලපෑම එල්ල වනු ඇත්තේ සමකය අසල පිහිටි රටවලටය. සුර්යයාට මුහුණලා පිහිටි රටවල් ගිනිගෙන දැවී යත්දි, ඊට අනුරූපිව සමකයේ අනෙක් කෙළවරේ පිහිටි රටවල් දැඩි ශීතලෙන් වෙළී යනු ඇත. පෘථිවි භ්‍රමණය නිසා ඇති වන කේන්ද්‍රාපසාරී බලය සමකය අසල කිසියම් නෙරීමක් ඇති වීමට තුඩු දෙන හෙයින් ජල ස්කන්ධ එහි රැඳී පැවතීමට එය ආධාරකයකි. එහෙත් භ්‍රමණයකින් තොරව එවැනි නෙරීමක් හට නොගන්නා බැවින් ජල ස්කන්ධ පෘථිවි ධ්‍රැව කරා තල්ලු වී යනු ඇත. සමකය අසල ගොඩබිම නිරාවරණය වීමෙන් එතෙක් කලක් උතුරු හා දකුණු සාගර වෙන් කොට පිහිටි දැවැන්ත සුපිරි මහද්වීපය දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇත. සමකය අසල හා ධ්‍රැව අසල පෘථිවියේ භ්‍රමණ වේගය දෙයාකාරයකින් සිදුවීම නිසා හට ගන්නා ‘කෝරියෝලිස් ආචරණය’ද තවදුරටත් නොපවතිනු ඇත.

සූර්ය කුණාටු

පෘථිවියේ භ්‍රමණය නැවතීමෙන් එල්ල විය හැකි තවත් බරපතළ බලපෑමක් වන්නේ පෘථිවි චුම්බක ක්ෂේත්‍රය අහිමිව යෑමය. විද්‍යාත්මක සාක්ෂිවලට අනුව පෘථිවි චුම්බක ක්ෂේත්‍රයේ පැවැත්මට හේතු වන්නේ පෘථිවියේ බාහිර ප්‍රාවරය හා අභ්‍යන්තර හරය එකිනෙකට වෙනස් වේග දෙකකින් භ්‍රමණය වීමය. මෙහිදී වඩාත් වේගයෙන් භ්‍රමණය වන්නේ පෘථිවි හරයයි. මෙම භ්‍රමණ ද්විත්වයම නැවතුණ හොත් චුම්බක ක්ෂේත්‍රයේ පැවැත්මක් නැතිව යනු ඇත්තේ පෘථිවිවාසීන් තවත් ව්‍යසන ගණනාවකට මැදි කරවමිනි. බිහිසුණු සූර්ය කුණාටු යනු එවන් ව්‍යසනවලින් එකක් පමණි. ශීඝ්‍ර කාලගුණික විපර්යාසයට මුහුණ දිය නොහැකිව ශාක හා සත්ව ප්‍රජාව මිය යෑම නිසා ආහාර දාම බිඳ වැටෙනු ඇත.

ඒසා විනාශයක් කළ හැකි පෘථිවි භ්‍රමණයේ නැවතීමක් සිදු වීමේ යම් සුළු හෝ සම්භාවිතාවක් තිබෙන්නේද? භ්‍රමණය මුළුමනින්ම නැවතීම කෙසේ වතුදු සියවසකට වරක් පමණ භ්‍රමණ වේගයේ මිලි තත්පර 2.3න් පමණ අඩු වීමට පෘථිවිය, සූර්යයා හා සඳ අතර වන ගුරුත්වාකර්ෂණ බලපෑම නිසා හටගන්නා උදම් බලයට හැකියාව තිබේ. නමුත් මෙම අඩු වීම පෘථිවිය මත සැලකිය යුතු බලපෑමක් ඇති වීමට තරම් ප්‍රබල නොවන්නකි. මීට අමතරව භුමිකම්පා මඟින්ද පෘථිවි භ්‍රමණයේ යම් නොගිණිය හැකි පරිමාණයේ මන්දගාමී වීමක් සිදු කළ හැකිය. මීට හොඳම නිදසුනක් වන්නේ 2011 වසරේදී ජපානයට බලපෑ භූමිකම්පාවයි. ඉන් පෘථිවි භ්‍රමණයට එල්ල වූ බලපෑම නිසා දිනකට මිලිතත්පර 1.8 ක අඩු වීමක් සිදු විය.

රුක්ලන්ති පෙරේරා

නව අදහස දක්වන්න