කාල | දිනමිණ

කාල

දැන් ඉතින් ලොක්කා ලෝටස්ව තවත් උඩ තියාගන්නවා, නාරද උපරිම වෙර යොදා දබරයේ ලීවරය කරකවන ගමන් සාප කළේය. පිස්සුවෙන් මෙන් එහාට මෙහාට පීනන කැට්ෆිෂ් මාළුවකු සිහි කරමින් නැවතිල්ලක් නොමැතිව උඩටත් පහළටත් දුවන පාලනයෙන් ගිලිහුණු අධිවේගී විදුලි සෝපානයට නැගීම දිවි හානි කරගැනීමකි. සෙමින් වුවද ස්ථීර ලෙසම එම කුඩා ලීවර සෝපානය නාරදව ප්‍රධාන පාලක මැදිරිය දක්වා ගෙන යමින් තිබිණි.

“බත් කූරෝ?” නාරද උන්ගේ ගති සොබාව යළිත් සිහිපත් කළේය.

“ඒත් උන් කොහොමද කතා කරන්නෙ? මගේ නම දන්නෙ? අනික උන්ගෙ පාට?” නාරද තනිවම කියවමින් තමන්ගේ කාර්යාලය මෙතරම් උඩු මහලක තිබීම ගැන සාප කරගන්නට විය. “ඒත් ලයිට් කොහොමද වෙනස් වුණේ? ප්‍රෝග්‍රෑම් එක අවුල් වෙන්න විදිහක් නෑනෙ?” පිළිතුරක් පෙනෙන මානයක නැත. නාරද කාර්යාලයට ළඟා වන විට තත්ත්වය තවත් බරපතළ වී තිබිණි. කැරකෙන රෙස්ටුරන්ටුව සිය වේගයට අදාළ නොවන තරම් වේගයෙන් කැරකෙන්න පටන් ගෙනය. කහ පාට ආලෝකය අධික දීප්තියකින් නිවි-නිවී දැල්වෙයි. හෙට අනිද්දා පැවැත්වීමට නියමිත සැණකෙළියක් සඳහා නිර්මාණය කර තිබූ හොලෝග්‍රෑම් මල්වෙඩි ගාලු මුවදොර අහසේ පුපුරා හැලෙද්දී උත්සවයේ විශේෂාංගය ලෙස සූදානම් කර තිබූ 5G චීන මකරුන් තිදෙනා සැහැල්ලු දුම්රියක් පසුපස ලුහුබඳිමින් සිටියහ. ඇත්තටම මෙන් ගිනි පිඹීමට හැකි මකරුන්ව දුම්රිය මගීන්ට පෙනෙන ආකාරය පිළිබඳ නොසිතා ඉන්නට නාරද වෑයම් කළේය.

ප්‍රධාන පරිගණකය සම්පූර්ණයෙන්ම අවුල් ජාලාවකි. යතුරු කිහිපයක් එබීමෙන් පසුව පරිගණක තිරය මත දිස් වූයේ වේගයෙන් ලියැවෙන අලුත් ප්‍රෝග්‍රෑමයකි.

“මොන රෙද්දක් ද මේ...” නාරද සිය කෙස්ස වේගයෙන් ඇද්දේය. ඔහු කිසිදා එවැනි පරිගණක ප්‍රෝග්‍රෑම් භාෂාවක් දැක තිබුණේ නැත. ඒවා ඔහුට ඉපැ‍රැණි රූපාක්ෂර සිහිපත් කළේය. නාරදට ඉන්දවුණේ ඉබේටමය. විශාලවටත් සැප පහසුවටත් තිබූ සිය පුටුව හදිසියේම කුඩා සහ අපහසුකාරී එකක් සේ නාරදට දැනෙන්නට විය.

සියලු කාර්ය මණ්ඩල දුරකතන නාද වෙමින් පැවතුණ ද ඒ කිසිවකට, කිසිවකුත් පිළිතුරු දුන්නේ නැත. නාරද මේසය මත වූ දුරකතනයේ රිසීවරය ගලවා ඉවතට වීසි කළේය. දිගටම ඔහුගේ දෑස් රැඳුණේ සිය පරිගණකයේ ලියැවෙමින් තිබූ ප්‍රෝග්‍රෑමය වෙතය. එය තේරුම් ගත නොහැකි වුව ද ඇතිවිය හැකි ප්‍රතිඵලය නාරදට ඒකාන්තය. කවුරුන් හෝ නෙළුම් කුලුනේ ආරක්ෂක පද්ධතියට ඇතුළු වී ඇත. නෙළුම් කුලුනේ පරිපාලනය සම්පූර්ණයෙන්ම පාහේ වෙන කවුරුන් හෝ අතට යෑමට වැඩි වේලාවක් නොයනු ඇත.

කුලුන සියතට ගැනීම සඳහා කිසිදා දැක නොතිබූ පරිගණක භාෂාවකින් නව ප්‍රෝග්‍රෑම් කිරීමක් සිදු වෙමින් තිබිණි.

“ලොක්කා මාව කයි... මාව මස් කරයි....”

එකවරම නාරද වටා රන්වන් ආලෝකයක් නිකුත් වන්නට විය. හිස බාගෙන පරිගණකය පිරික්සමින් හුන් නාරද මඳක් හිස ගස්සා පසුපස බලන විට එතැන බත්කූරු හමුදාවකි. එම රන්වන් බත්කූරන්ගේ කුඩා උත්තල ඇස් නාසා සහ කටවල් කෙතරම් පැහැදිලිව පෙනුණේ ද යත් නාරදට ද කතා කෙරුණේ ඉබේටමය.

“උඹලා කවුද?මොකක්ද මේ කළේ? කුලුන විනාශ කරන්නෙ ඇයි?”

“අපි කුලුනෙන් වැටිලා මැරිච්ච සුළු සේවකයෝ. මේ ආවෙ උඹලගෙන් පළි ගන්න!! හහ්...හහ්...හහ්..උඹ හිතන්නෙ එහෙම කතාවක් අපි කියයි කියලද?” රන්වන් බත්කූරන්ගෙන් නිකුත් වූයේ කර්කශ කෘත්‍රීම හඬකි. “තමුසෙට අපි කී පාරක් නම් එපා කිව්වද... කෝ තමුසෙ අපේ එක වචනෙකට හරි කන් දුන්නද?”

බත්කූරෝ නොනවත්වා මතුරන්නට වූහ. ඊට සවන් දීගෙන හුන් නාරදට ක්‍රමයෙන් නිදිමත විය.

* * *

විශ්‍රාමික ජෙනරාල් දයා චෑන් මහරන්කඩුව අත් මිටි මොළවාගෙන ප්‍රධාන ආරක්ෂක කාර්යාලයේ එහාටත් මෙහාටත් ඇවිද්දේය. ආරක්ෂක අංශයේ සේවය කරන සියල්ලන් එදින සේවයට වාර්තා කර තිබුණ ද මේසය උඩ තිබූ ටිෂූ කොළය කණ්ණාඩියක් මෙන් මැද තිබූ පොළොව මත වැටීමත් මහා ශබ්දයක් මෙන් ඇසුණි. ඒ හඬටත් පරිගණක ඉංජිනේරු අංශයේ උප ප්‍රධානී ආනන්දනී රහුමාන් තිගැස්සුණාය. ඈ සෑම තත්පර තිහකට වරක්ම ආරක්ෂක කාර්යාලයට යාබදව තිබූ සැකකරුවන් ප්‍රශ්න කරන කාමරයේ හුදෙකලා පුටුවක් මත වාඩි වී සිටි සිය ප්‍රධානියා වූ නාරද වෙත්තසිංහ දෙස හිස හරවා බැලුවාය.

 

මතු සම්බන්ධයි

 

අමාලි අනුපමා මල්ලවආරච්චි

නව අදහස දක්වන්න